නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ විනාශකාරී ගංවතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළගොස් ඇති බවට එරට පොලීසිය පවසයි.

එරට වේලාවෙන් ඊයේ (26) උදෑසන ඇති වූ මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් දිවි ගලවා ගත් අය තවමත් සොයමින් සිටින අතර මේ වනවිට පුද්ගලයින් 800කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇත.

නේපාල හමුදාව පවසන්නේ අද වන විට ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පුද්ගලයින් 350 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බවයි.

බේරාගත් අයගෙන් 50 දෙනෙකු විදේශිකයන් බවත්, ඒ අතර ඉන්දියානුවන් 30 දෙනෙකු, චීන ජාතිකයන් 8 දෙනෙකු, කොරියානුවන් 8 දෙනෙකු, ඇමරිකානුවන් 2 දෙනෙකු සහ ඉතාලි ජාතිකයන් 2 දෙනෙකු සිටින බවත් හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

අතුරුදන් වූ පිරිස අතර චීන ජාතිකයන් 100ක් පමණ සිටින බවට චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

නේපාලයේ සහ ටිබෙටයේ ඇති වූ ගංවතුරෙන් පසු සම්බන්ධ කර ගත නොහැකිව සිටින ඉන්දියානු ජාතිකයින් 288 දෙනෙකු සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.