ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සිය මව සහ බාල සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි යෞවනයෙකු, තම පවුල ඝාතනය කිරීම පිළිබඳ “න්‍යායාත්මක අදහස් හෝ මනඃකල්පිත කතා” සෙවීම සඳහා කෘත්‍රිම බුද්ධි චැට්බොට් සේවාවක් වන ChatGPT භාවිත කර ඇති බවට පැමිණිලිකාර පාර්ශ්වය පවසයි.

17 හැවිරිදි අර්ජුන් අරවින්ද්ට එරෙහිව මිනීමැරුම් චෝදනා දෙකක්, පවුලේ හෝ නිවසේ සාමාජිකයෙකුට පහරදීම සම්බන්ධ චෝදනා දෙකක් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා ඇත.

කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව යි.

ඔහුගේ මව වන 45 හැවිරිදි සුදා වෙන්කටේසන් සහ 14 හැවිරිදි සොහොයුරු සිද්ධාර්ත් අරවින්ද් බොස්ටන් නගරයට වයඹ දෙසින් සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි ඇක්ටන් ප්‍රදේශයේ ඔවුන්ගේ නිවස තුළ මියගොස් සිටියදී අඟහරුවාදා සොයාගෙන ඇති බව පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කළේය.

මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත දිස්ත්‍රික් නීතිඥ මරියන් රයන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අර්ජුන් මෑතකදී සැලකිලිමත් විය යුතු ආකාරයේ හැසිරීම් කිහිපයක් පෙන්වා ඇති බවයි. ඒ අතර තම පවුල ඝාතනය කිරීම සම්බන්ධයෙන් න්‍යායාත්මක අදහස් සහ මනඃකල්පිත කතා පිළිබඳව අන්තර්ජාලය සහ ChatGPT ඔස්සේ සෙවීම් සිදුකිරීමද තිබූ බව ඇය සඳහන් කර තිබේ.

නීතිඥ රයන් පවසා ඇත්තේ, ඔහු ChatGPT භාවිත කරමින් ගොතික් නවකතා ආකාරයේ මනඃකල්පිත කතා නිර්මාණය කරමින්, චරිත ගොඩනඟමින් සහ විවිධ සිදුවීම් පිළිබඳ ප්‍රශ්න කරමින් සිට ඇති බවයි. එම කතා සහ ප්‍රශ්න ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිදුවිය හැකි තර්ජන හා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධ කරුණු සමඟ සම්බන්ධ වී ඇති බවද ඇය පවසා තිබේ.

CNN අනුබද්ධ WCVB වෙත ලැබුණු පොලිස් වාර්තාවකට අනුව, සිද්ධිය වූ ස්ථානයේ දැඩි ලෙස හානි වූ ලේ තැවරුණු ලැප්ටොප් පරිගණකයක් සහ තැඹිලි පැහැති මිටක් සහිත පිහියක් විය හැකි නැමුණු උපකරණයක් සොයාගෙන ඇත.

මව සහ සොහොයුරා මියගිය ආකාරය පිළිබඳ අවසන් වෛද්‍ය තීරණය මෙතෙක් නිකුත් කර නොමැති බවද නීතිඥ රයන් සඳහන් කළාය.

පසුගිය වසරක පමණ කාලය තුළ අර්ජුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ගැටලු පැවති බවත්, ඔහුගෙන් ආරක්ෂා කිරීම සඳහා පවුලේ සාමාජිකයන් පිහි සඟවා තැබූ බවත් ඔහුගේ පියා පොලිසියට පවසා ඇති බව WCVB වාර්තා කර තිබේ.

අර්ජුන් අත්අඩංගුවට ගන්නා තෙක් තම මව සහ සොහොයුරා මියගොස් ඇති බව ඔහු නොදැන සිටි බව ඔහුගේ නීතිඥ ඩෙබ්රා ඩිවිට් පවසා තිබේ.

මේ අතර, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වෙනත් අපරාධ ක්‍රියාකාරකම් සමඟද සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ChatGPT හි හිමිකාරීත්වය දරන OpenAI සමාගමට එරෙහිව ෆ්ලොරිඩා ප්‍රාන්තය මෙම වසරේදී නඩුවක්ද පවරා තිබුණි. එහිදී ChatGPT සතුව දෙමාපිය අධීක්ෂණය ප්‍රමාණවත් නොවීම, බාලවයස්කරුවන් එයට ඇබ්බැහි වීම, පරිශීලකයන්ගේ විවේචනාත්මක චින්තන හැකියාවට බලපෑම් කිරීම, සමූහ 
ඝාතකයන්ට උපකාර කිරීම සහ සියදිවි නසාගැනීම් සඳහා දිරිගැන්වීම් ලබාදීම ඇතුළු චෝදනා එල්ල කර තිබේ.

අර්ජුන් අරවින්ද්ට ඇප ලබාදීමකින් තොරව රඳවා තැබීමට නියෝග කර ඇති අතර, ඔහු මානසික සෞඛ්‍ය ඇගයීමකටද යොමු කිරීමට නියමිතය. ඔහු සම්බන්ධ මීළඟ නඩු විභාගය සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.