CLOSE

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වේ ශූරතාව, තත්පරයෙන් පන්දහසින් පංගුවකින් ජැමෙයිකාවේ කිෂේන් තොම්සන් වෙතින් උදුරාගෙන තමන් සතු කරගැනීමට එක්සත් ජනපදයේ නෝවා ලයිල්ස් සමත් විය.

ලයිල්ස් තරගයේ දෙවන භාගයේදී ඔහුගේ ප්‍රතිවාදීන් පරදවා, සිය පුද්ගලික හොඳම කාලය ලෙස තත්ත්පර 9.79 ක් වාර්තා කරමින් තරගය ජයගත්තේ ය.

ඔලිම්පික් පිටියේ සිය මංගල දස්කම් දැක්වූ මළල ක්‍රීඩක තොම්සන් එයට සමානම කාලයක් වාර්තා කරමින් තරගයේ වැඩි කොටසකදී ඉදිරියෙන් සිටි නමුත් ලයිල්ස් මෙම ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් හතරක් සඳහා වූ ඔහුගේ ඉලක්කය සාර්ථකව ආරම්භ කරමින් තරගයට දර්ශනීය නිමාවක් ලබා දුන්නේ ය.

එක්සත් ජනපදයේ හිටපු ලෝක ශූර ෆ්‍රෙඩ් කර්ලි, දකුණු අප්‍රිකාවේ අකේනි සිම්බයින් පරදවා ලෝකඩ පදක්කම ලබා ගත්තේ තත්ත්පර 9.81 ක කාලයක් වාර්තා කරමිනි.

අවසන් තරගකරුවෝ අට දෙනාම ලයිල්ස් තරගය අවසන් කිරීමෙන් තත්ත්පර 0.12 ක් ඇතුළත තරගය අවසන් කළහ.
අවසන් තරගකරුවෝ අට දෙනාම ලයිල්ස් තරගය අවසන් කිරීමෙන් තත්ත්පර 0.12 ක් ඇතුළත තරගය අවසන් කළහ

ප්‍රංශ ඔලිම්පික් පිටියට නාට්‍යයක උච්චතම මොහොතේ මෙන් උද්වේගකර අවසන් මොහොතක් ගෙන එමින්, අවසන් තරගකරුවෝ අට දෙනාම ලයිල්ස් තරගය අවසන් කිරීමෙන් තත්ත්පර 0.12 ක් ඇතුළත තරගය අවසන් කළහ.

මහා බ්‍රිතාන්‍යයෙහි සාර්නල් හියුස් සහ ලුවී හින්ක්ලිෆ්ට ජය ගැනීමට නොහැකි වූ තරගයක් විය. ඉතාලියේ වත්මන් ශූර ලෙමන්ට් මාර්සෙල් ජාකොබ් ද පදක්කම් ලබා ගැනීමට සමත් නො වූ අතර, තවත් ජැමෙයිකානු නැගී එන තරුවක් වනඔබිලික් සෙවිල් අවසන් ස්ථානයට පත් වූයේ තත්ත්පර 9.91 ක් ලබාගෙන ය.

අවසානයේදී, විශාල තිරයේ නිල ප්‍රතිඵලය දර්ශනය වූයේ, ලෝකයේ ඉහළම තලයේ දස්කම් පාමින් ලෝක ශූරතාවලියේ රන් පදක්කම් තුනක් ලබා සිටි ලයිල්ස් ය.

"ඔබට මෙයට වඩා සුවිසල් මොහොතක් අත්විඳීමට හැකිවන්නේ නැහැ" යැයි, තරගය අතරවාරයේදී හත්වැනි ස්ථානයේ සිටි ලයිල්ස් බීබීසී ස්පෝර්ට් වෙත අදහස් දක්වමින් පැවසීය.

“හැම වටයක්ම එන ආකාරය අනුව භාර ගැනීමට මට සිදු වුණා. පළමු වටයෙන් පස්සේ මම ටිකක් නො සතුටින් හිටියේ. ඒ නිසා ආක්‍රමණශීලීව තරගයට මුහුණ දුන්නා. අර්ධ අවසන් පූර්ව තරගයේදී මම තත්ත්පර 9.83කදී දිව්වා."

"ඔබ නෝවා ට කැමැති වෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මොකද මම තවත් දස්කම් දක්වන්න බලාපොරොත්තු වන නිසා...”

දිගින් දිගටම සුවිශාල අරමුණු හඹා යන ලයිල්ස්

උසේන් බෝල්ට්ගේ ස්ථානය අතික්‍රමණය කරමින් පිරිමි මලල ක්‍රීඩාවේ නව සුපිරි තරුව වීම සඳහා අවශ්‍ය ධාවන පථයේ හැකියාව සහ උනන්දුව ඔහුට ඇති බවට ලයිල්ස් දැඩිව විශ්වාස කරයි.

මෙය පුරසාරම් දෙඩීමක් ලෙසට පෙනුණත් ඔහු එය ක්‍රියාවෙන් ම ඔප්පු කරමින් සිටියි.

2015 වසරේ බෝල්ට්ට පසුව, මීටර් 4x100 සහය දිවීමේ රන්පදක්කම් තුනක් තමන් සතු කර ගැනීමට පෙර ලයිල්ස්, ලෝක ශුරතා මීටර් 100 ද්විත්වයක් සහ මීටර් 200 ද්විත්වයක් දිනූ පළමු මිනිසා බවට පත් විය.

පැරිස් ක්‍රීඩා උළෙල පෙනෙන මානයේදී, ලයිල්ස් කියා සිටියේ ප්‍රංශ අගනුවරදී, තමන් දිනූ දුර ප්‍රමාණයට මීටර් 4x400 ඉසව්ව එකතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. ඔහු එය පසුගිය මාසයේ ලන්ඩන් ඩයමන්ඩ් ලීගයේ දී මීටර් 100 දිවීමේදී පුද්ගලික හොඳම දක්ෂතාව පෙන්වමින් ඔහු එම ප්‍රකාශයට රුකුල් දුන්නේ ය.

නමුත් දැඩි පීඩනයක් යටතේ දිගින් දිගටම මෙම අදියරවල එවැනි සාර්ථකත්වයක් ලැබීම යනු තනිකරම ක්‍රීඩකයා මත පදනම් වූ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි.

ඔහු දැන් 2004 වසරේ ජස්ටින් ගැට්ලින්ට වසර 20කට පසුව, ඔලිම්පික් මීටර් 100 ශූරතාවක් දිනාගත් පළමු ඇමරිකානුවා බවට පත්වූ අතර වර්තමානයේ වේගවත්ම පිරිමි ධාවන ක්‍රීඩකයා ලෙස තමාගේ ස්ථානය තහවුරු කර ගත්තේ ය.

තෙවරක් මීටර් 200 ලෝක ශූරයා වූ ඔහු, සඳුදා ආරම්භ වන එම ඉසව්වලදී සියලු ප්‍රධාන ශූරතා සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි.

ඔහු එසේ කළහොත්, මෙම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් හතරක් හඹා ගොස් ක්‍රීඩා ඉතිහාසයේ අමරණීයත්වයට තවත් පියවරකින් සමීප වනු ඇත.

මහා බ්‍රිතාන්‍යයේ හින්ක්ලිෆ් සහ හියුස්

හින්ක්ලිෆ් මාස තුනකටත් අඩු කාලයකට පෙර, සිටි එතරම් සතුටුදායක නොවූ තත්ත්වයේ සිට, ඔලිම්පික් මීටර් 100 මංගල තරගයක් දක්වා පැමිණි ගමන, සුරංගනා කතාවක් තරමටම විශ්මය දනවන ජයග්‍රහණයක් විය.

නමුත් 22 හැවිරිදි ක්‍රීඩකයා සහ ඔහුගේ පුහුණුකරු කාල් ලුවිස් දෙදෙනාම කියා සිටියේ පැරිසියේ පැවැත්වෙන අවසන් මහා තරගයට පිවිසීම ඔවුන්ගේ ඉලක්කය බවයි. බ්‍රිතාන්‍ය ජාතිකයා සෙනසුරාදා සිය තෝරාගැනීමේ තරගයේදී ලයිල්ස් පරාජය කළ විට එය යථාර්ථවාදී ඉලක්කයක් ලෙසට පෙනිණි.

නව වතාවක් ඔලිම්පික් ශූරයෙකු මෙන්ම පසුගිය දශකය තුළ හූස්ටන් විශ්ව විද්‍යාලයේ පුහුණුකරුවෙකු වී සිටීමෙන් ලද අත්දැකීම් සම්භාරයක් ඇති ලුවිස් පවා, පසුගිය මාස 12ක හවුල්කාරිත්වය තුළ හින්ක්ලිෆ් ලැබූ ප්‍රගතිය ගැන සිය පුදුමය පළ කර තිබේ.

අවාසනාවන්ත ලෙස අවසන් මහා තරගයට පිවිසීමට ඔහුට හැකි වූයේ නැත. ඒ හින්ක්ලිෆ් ඔහුගේ අවසන් පූර්ව තරගයේදී සේවිල් සහ ලයිල්ස්ට පසුව තෙවැනි ස්ථානයට පත්වීමෙන්, ස්වයංක්‍රීය නොවන සුදුසුකම් ලැබීමේ ස්ථානවලින් ඉවත් වීමෙනි.

"එය පැහැදිලිවම මට අවශ්‍ය ප්‍රතිඵලය නොවුණත්, මට මා ගැන කලකිරීම් නැහැ.ඉතිහාසයේ හයවන වේගවත්ම බ්‍රිතාන්‍ය ජාතිකයා බවට දැනටමත් පත්වී සිටින හින්ක්ලිෆ් බී.බී.සී. ස්පෝට්ස් වෙත පැවසුවේ ය.

"මම අනිවාර්යයෙන්ම මෙවර ලද අත්දැකීම්වලින් මෙන්ම මගේ අත්වැරදීම් වලින් දේවල් ඉගෙන ගන්නවා. ඒ නිසා වඩාත් සවිමත්ව ඊළඟ වසරේ පැමිණෙනවා."

මේ අතර හියුස් පසුගිය වසරේ ඔහු ලබා ගත් ප්‍රථම ගෝලීය පදක්කමේ ජයග්‍රහණය ප්‍රතිනිර්මාණය කරගැනීමට හෝ වසර තුනකට පෙර ටෝකියෝ අවසන් මහා තරගයේදී ඔහුගේ වැරදි ආරම්භය නිසා අහිමිව ගිය ඔලිම්පික් අවස්ථාව මෙවර ලබාගැනීමට ද සමත් වූයේ ද නැත.

29-හැවිරිදි ඔහුට 2023 දැක්වූ දස්කම් දැක්වීමට නො හැකි වූ අතර, එහිදී ඔහු මීටර 100 සහ 200 සඳහා වූ දිගුකාලීන බ්‍රිතාන්‍ය වාර්තා දෙකක් බිඳ දැමූවේ ය. මෙවර ඔහුගේ දස්කම් දැක්වීමට පාදයේ ඇතිවූ ආබාධය බාධා පමුණුවා තිබේ.

"පැහැදිලිවම මම "මගේ ගැන කලකිරීමට පත්වී සිටින්නේ. නමුත් මම මගේ හැකියාව ගැන දන්නවා. මේක මගේ තුන්වන මීටර් 100. මේ පරාජයට මම කිසිම නිදහසට කරුණක් කියන්නේ නැහැ. අද මගේ වාසනාවන්ත දවස නෙවෙයි," මීටර 200 ඉසව්වටද ඉදිරිපත් වන හියුස් පැවසීය.

"පසුගිය මාසයේ මගේ පාදයේ ආබාධයෙන් පස්සේ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීම එතරම් පහසු වුණේ නැහැ, නමුත් ඒ අවස්ථාව ගන්න මම ගොඩක් වෙහෙසුණා. ඒක ඉටු කරන්න තමා මම මෙහෙ ආවේ."

BBC සිංහල 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.