ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට සුන්බුන් අතරින් පුද්ගලයන් 11 දෙනෙකු මුදාගෙන ඇති බව දිල්ලි පොලිසිය සඳහන් කරයි.

දිල්ලි විශ්වවිද්‍යාලයේ දකුණු සරසවිය ආසන්නයේ පිරිමි සිසුන් සඳහා නේවාසික පහසුකම් සපයන Hostel Daze ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ ඉරිදා (06) පස්වරු 1.30ට පමණ වේ. එම අවස්ථාවේ ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රාත්‍රිය පුරා සිදුකළ මෙහෙයුම් අතරතුර තවත් පුද්ගලයෙකු මුදාගත් නමුත්, ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව පොලිසිය පැවසීය.

දිල්ලි පොලිසිය, ගිනි නිවන සේවය, ජාතික ආපදා ප්‍රතිචාර බලකාය සහ දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් එක්ව තවදුරටත් සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් ගොඩනැගිලි හිමිකරු හරිරාම් බන්සාල් ඇතුළු පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, වසර 50කට වැඩි පැරණි මෙම ගොඩනැගිල්ලේ බිම් මහලට අමතරව තවත් මහල් පහක් තිබූ බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.