කොළඹ වරාය නගරයේ පාලමක් මත රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටින චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

2026 ජූලි 23 වැනිදා සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින අතර, සිද්ධියට සම්බන්ධ තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනා තවදුරටත් මෙරට රැඳී සිටින බවයි. ඔවුන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම වීසා කාලසීමාවද මේ වනවිට අවසන් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම සැකකරුවන් ගුවන් හෝ මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස රටින් පිටව යාමේ අවදානමක් පවතින බැවින්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය බව පොලිසිය පවසයි.

සැකකරුවන් තිදෙනාගේ ඡායාරූපද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, ඔවුන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා 0718 591 735 යන දුරකථන අංකයෙන් දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.