CLOSE

වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 68ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මේ වනවිට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 48,725 දෙනෙකු එනම් 52.96%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් සහිත පළාත ලෙස බස්නාහිර පළාත තවදුරටත් ඉදිරියෙන් සිටී.

දකුණු පළාතෙන් රෝගීන් 13,533 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය දෙවැනි වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන පළාත බවට පත්ව තිබේ.

දිස්ත්‍රික්ක අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,631කි. කොළඹින් 18,245ක්, මහනුවරින් 6,613ක්, මාතරින් 6,036ක්, කළුතරින් 5,951ක්, ගාල්ලෙන් 5,039ක් සහ රත්නපුරයෙන් 4,935ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරමින් අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ මතුවුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වන ලෙසද සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.