CLOSE

මම, මා ජීවත් වූ සහ ජීවත් වීමට ඉතිරිව ඇති වසර ප්‍රමාණය ගණන් කෙරුවෙමි. මා ජීවත්ව සිටියාට වඩා අඩු වසර ගණනක් පමණක් දැන් මා ඉදිරියේ ඉතිරිව ඇති බව ඉන් උගත්තෙමි. මට මා දැන් දැනෙන්නේ රසකැවිලි පාර්සලයක් දිනාගත් දරුවෙකු ලෙසිනි. ඔහු මුල් රසකැවිලි කිහිපය ඉමහත් ප්‍රමෝදයෙන් අනුභව කෙරී ය. නමුත් දැන් ඉතිරිව ඇත්තේ රසකැවිලිවලින් ස්වල්පයක් පමණක් බව දැනගත් වහාම ඔහු දැඩි උවමනාවකින් සහ සිහියෙන් ඒවා රස විඳීම ඇරඹීය.

එකිනෙකාගේ තත්වයන්, තරාතිරම්, නීතී ප්‍රතිපත්ති රාමූන්, අභ්‍යන්තරික රෙගුලාසී සහ ක්‍රියා පටිපාටීන් ගැන පැය ගණන් සාකච්ඡා කරනා නමුත් සැබෑ කිසිවක් සාක්ෂාත් කර නොගන්නා රැස්වීම් වෙනුවෙන් වෙන් කිරීමට දැන් මට කාලයක් නැත...

තමන්ගේ වයසට සාපේක්ෂව නොවැඩුණු විසල් සිරුරවල ඉන්නා නොවැඩුනු මිනිසුන් වෙනුවෙන් වැය කිරීමට මට දැන් කාලයක් නැත...

මගේ කාලය ඉතා කෙටි ය: 
මට සියල්ලෙහි සාරය අවැසි ය, 
මගේ ආත්මය ඉන්නෙ කලබලයෙනි. 
මා සතුව තව බොහෝ රසකැවිලි ඉතිරිව නැත. 
මට සැබෑ මිනිසුන් සමඟ ජීවත්වීමට අවැසි ය, 
තමන්ගේ මිනිසත්භාවය පිළිගන්නා මිනිසුන්, 
තමන්ගේ වැරදි දෙස බලා හිනැහෙන්නට දන්නා මිනිසුන්, 
තමන්ගේ ජයග්‍රහණයන් නිසා අධික ලෙස පිම්බීම පිළිකෙව් කරනා මිනිසුන්, 
තමන්ගේ වගකීම තම දෑතට ගන්නා මිනිසුන් සමඟ ජීවත් වීමට මට අවැසි ය

අප සත්‍යය සහ අවංකභාවය වෙත ක්‍රමක්‍රමයෙන් ළඟාවන අතරම මිනිසුන්ගේ අභිමානය ආරක්ෂා කිරීමට ගන්නා පියවර විසින්, මේ ජීවිතය අල්ලාගෙන සිටීමට තරම් වැදගත් යමක් බවට පත් කරනු ලබන බව මම දැන් දනිමි.

එකිනෙකාගෙ හදවත් මෘදුව ස්පර්ශ කිරීමට දන්නා මිනිසුන් අතරමැද ජීවත්වීමේ ආශාවක් දැන් මා තුළ ඇත, 
අනේක විධ දුක්වේදනා සහ තුවාල නිසාවෙන්ම එකිනෙකාට මෘදුවෙන්නට ඉගෙනගත්, අනෙකාගේ ආත්මය ඒ පහන් උණුහුමෙන් ස්පර්ශ කිරීමට දන්නා සැබෑ මිනිසුන්ව මම දැන් සොයමි.

මා ඉන්නේ කලබලයක බවට ඔබ මට චෝදනා කරනු ඇත. මා එය පිළිගනිමි. අපගේ පරිණතභාවය සමඟ පමණක් අප වෙතට පැමිණෙන දැඩි ප්‍රේමයෙන් සහ තීව්‍රතාවයෙන් ජීවත්වීමට මා තුළ කලබලයක් ඇත. මා එය ප්‍රතික්ෂේප නොකරමි.

මා සතුව ඉතිරිව ඇති රසකැවිලි කිසිවක් අහක දැමීමේ බලාපොරොත්තුවක් මා සතුව නැත. ඒවා ඉතා ඉමිහිරි බව මට විශ්වාස ය. මා මෙතෙක් රස විඳි සියල්ලට වඩා ඒවා රසැති බව මා දනිමි.

මගේ අරමුණවන්නේ තෘප්තිමත් සිතකින් මගේ අවසානය වෙත ළඟා වීමයි. ඒ මොහොත එළැඹෙන විට, මගේ ආදරණීයයන් සමඟද, මගේ හෘද සාක්ෂිය සමඟද සාමයෙන් ඒ අවසානය වෙතට ගමන් කිරීමයි.

අපට ජීවිත දෙකක් ඇත. 
දෙවෙනි ජීවිතය ආරම්භවන්නේ අපට ඇත්තේ එක් ජීවිතයක් පමණක් බව අප වටහාගන්නා දිනයේදි ය.

පසු සටහන ඔබ වෙනුවෙනි. 
Friend: A favored companion. A person attached to another by feelings of affection or personal regard. A person who gives assistance. Someone who knows me and loves me just the same. YOU!

අයිතිය: Mario de Andrade
අනුවර්තනය: ෂෙනූ පෙරේරා 
ජූලි 03, 2024      

(ෂෙනූ පෙරේරා මුහුණු පොතෙන් උපුටා ගැනුණි)

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.