ඩොල්ෆින් සුළි කුණාටුව චීනයේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑමත් සමඟ ෂැංහයි මූල්‍ය නගරය ඇතුළු ප්‍රදේශවලින් පුද්ගලයන් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

කුණාටුවත් සමඟ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇතිවී ඇති අතර, ප්‍රවාහන කටයුතුද අඩාල වී ඇත. සඳුදා දිනයේ පමණක් ෂැංහයි නගරයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.

මේ වනවිට ඩොල්ෆින් කුණාටුව නිවර්තන කුණාටුවක් දක්වා දුර්වල වී තිබුණද, බදාදා දක්වා දැඩි වර්ෂාව, ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව බලධාරීන් අනතුරු අඟවා ඇත.

ඩොල්ෆින් කුණාටුව සම්බන්ධයෙන් චීන බලධාරීන් මීට පෙර ඉහළම මට්ටමේ රතු අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබූ අතර, එය මේ වසරේ චීනයට බලපෑ ප්‍රබලතම කුණාටුව ලෙස සැලකේ.

ඉරිදා පස්වරු 5.30ට පමණ (GMT 09.30) පැයට කිලෝමීටර් 150ක පමණ උපරිම සුළං වේගයක් සහිතව ඩොල්ෆින් කුණාටුව මුලින්ම Zhejiang පළාතේ Yuhuan ප්‍රදේශයට කඩා වැදී තිබේ.

ඉන් පැයකට පමණ පසු එය Wenzhou නගරයට ආසන්නයෙන් දෙවැනි වරටත් ගොඩබිමට පැමිණි බව චීන කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කර ඇත.

සඳුදා දිනයේ Shandong, Henan, Hubei, Anhui, Jiangsu සහ Zhejiang පළාත්වලට මෙන්ම ෂැංහයි නගරයටද දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.