නිශ්චිත කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අද (01) සිට අනිවාර්ය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලැස්මකට අනුමැතිය ලබාගැනීමේදී, මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී මෙම අංකය ඉදිරිපත් කළ යුතු බවයි.

ඊට අමතරව, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීම යන කාර්යයන් සඳහාද වලංගු TIN අංකයක් අවශ්‍ය වේ.

අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර ඉදිරිපත් කරන TIN අංකය වලංගුද යන්න වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

මේ වන විටත් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. තමන් සතුව ඇති TIN අංකයේ වලංගුභාවය පරීක්ෂා කරගැනීමේ පහසුකමද එම සේවාව හරහා සලසා ඇත.

එම තහවුරු කිරීම සාර්ථක වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව සඳහන් මුද්‍රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, වයස අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයන් TIN අංකයක් ලබාගත යුතු වුවද, එම සියලු දෙනා බදු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා අසත්‍ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එම දෙපාර්තමේන්තුවට අනුව, පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නම් පමණක් ඔහු හෝ ඇය බදු ගෙවීමට යටත් වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.