සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායිගේ "ශ්‍රී කාන්ත" නවකතාවේ එන රාජලක්ෂ්මී හෙවත් පියාරිගේ චරිතයට ඔබ ආදරය කළාද? ගණිකාවක් වුවත් ඇය තුළ තිබූ පිවිතුරු ආදරය ඔබේ හදවත කම්පා කළාද? එසේනම් මේ අසන්න... රාජලක්ෂ්මී යනු හුදු කල්පිතයක් නොවේ. ඇයටත් වඩා දහස් වාරයක් දුක් විඳි, මුළු ඉන්දියාවම වසඟ කළ, එහෙත් අවසානයේ තනි වූ සැබෑ "රාජලක්ෂ්මී" කෙනෙක් ඉතිහාසයේ සිටියා.

ඇය නමින් බිනෝදිනි දාසි යි. ලෝකයා ඇයව හැඳින්වූයේ "නෝටි බිනෝදිනි" (නිළියක වූ බිනෝදිනි) ලෙසයි.

අඳුරෙන් උපන් තාරකාව

600178093-2335989510245208-8186817880445280688-n.jpg

වර්ෂ 1863 දී කල්කටාවේ රතු එළි කලාපයට මායිම් වූ මුඩුක්කු නිවසක ඇය උපත ලබන්නේ පියෙකු නැති දරුවෙක් ලෙසයි. ඇගේ මව සහ ආච්චි ජීවත් වූයේ ගණිකා වෘත්තිය ආශ්‍රිත පසුබිමකයි. දරිද්‍රතාවය කොතරම් දරුණු වූවාද කිවහොත්, කුඩා කාලයේදීම බිනෝදිනිව විවාහ කර දී කීයක් හෝ සොයා ගැනීමට ඇගේ ආච්චි උත්සාහ කළා. නමුත් දෛවය ඇයට සිනාසුණේ වෙනත් ආකාරයකටයි. වයස අවුරුදු 12 දී අසල්වැසි ගායිකාවකගේ මාර්ගයෙන් ඇය "ග්‍රේට් නැෂනල් තියටර්" එකට එකතු වෙනවා.

මුඩුක්කුවෙන් ආ පුංචි කෙල්ල, ටික කලකින් මුළු බෙංගාලයේම වේදිකාවල දිදුලන තාරකාව බවට පත්වුණා. ඇය කොතරම් දක්ෂද කියනවා නම්, ඉන්දියාවේ මහා යෝගිවරයෙකු වූ රාමක්‍රෂ්ණ පරමහංසතුමා පවා ඇගේ රඟපෑම දැක සමාධියට පත් වී, "අම්මා, නුඹට බුද්ධත්වය ලැබේවා!" යැයි පවසා ඇයට ආශිර්වාද කළා.

ආදරය සහ ශාපය (Love and Curse)

598958956-2335989566911869-199587088987515245-n.jpg

ඇය වේදිකාවේ රැජින වුවත්, සැබෑ ජීවිතයේදී ආදරය සොයා ගිය ගමන කටුක විය. ඇගේ ජීවිතයට පිරිමින් පැමිණියත් ඒ හැමෝම ඇයට ඉතිරි කළේ කඳුළු පමණයි.

පළමු ප්‍රේමය: යොවුන් වියේදීම ඇය අසල්වැසි කුලවත් තරුණයෙකුට පිවිතුරු ලෙස පෙම් බැන්දා. ඔහු ඇයව විවාහ කරගැනීමට සිහින මැව්වත්, "ගණිකාවකගේ දියණියක් කුලවත් පවුලකට වැද්දගත නොහැකිය" යන සමාජ සම්මතය ඉදිරියේ ඔහුට ඇයව අතහැර යාමට සිදු වුණා.

කුමාර් බහදුර් සහ රත්තරන් කූඩුව

ඉන්පසු ඇයව ආරක්ෂා කළේ කුමාර් බහදුර් නම් ධනවත් ඉඩම් හිමියෙක්. ඔහු ඇයට මැණික්, රත්තරන් දී සැප සම්පත් ලබා දුන්නත්, ඔහුට අවශ්‍ය වූයේ ඇයව රඟපෑමෙන් ඉවත් කර තමන්ගේ මන්දිරයේ "සුරතලියක්" මෙන් තබා ගැනීමටයි. නමුත් කලාවට තිබුණු ආදරය නිසා ඇය ඒ කෝටිපති ජීවිතය අතහැර නැවතත් දූවිලි පිරුණු වේදිකාවටම දිව ආවා.

ගුර්මුක් රායි සහ මහා පාවාදීම (The Ultimate Sacrifice)

598486739-2335989630245196-544907848327188685-n.jpg

මෙය ඇගේ ජීවිතයේ අඳුරුතම පරිච්ඡේදයයි. බිනෝදිනි ඇතුළු නාට්‍ය කණ්ඩායමට තමන්ගේම රඟහලක් නැති වුණා. ඔවුන් පාරට වැටෙන තත්ත්වයට පත් වුණා. මේ වෙලාවේ, ගුර්මුක් රායි නම් මර්වාරි ජාතික කෝටිපති තරුණයා ඉදිරිපත් වුණා. ඔහු බිනෝදිනීගේ රූපයට වසඟ වී උමතුවෙන් මෙන් සිටි අයෙක්.
ඔහු දැම්මේ එකම කොන්දේසියයි: "මම රඟහල හදන්න ඕන කරන මුදල් දෙන්නම් (රුපියල් 50,000ක් - එකල විශාල මුදලක්). හැබැයි බිනෝදිනි රඟපෑම නවත්තලා, මගේ අනියම් බිරිඳ විදියට මාත් එක්ක විතරක් ජීවත් වෙන්න එන්න ඕන."

බිනෝදිනී එය ප්‍රතික්ෂේප කළා. නමුත් ඇගේ ගුරුවරුන් සහ නාට්‍ය කණ්ඩායම ඇගෙන් ඉල්ලා සිටියා, "අපේ කලාව වෙනුවෙන් මේ කැපකිරීම කරන්න. අපි පොරොන්දු වෙනවා අලුතින් හදන රඟහලට 'B-Theatre' (බිනෝදිනී රඟහල) කියලා නම දානවා" කියලා.

කලාව වෙනුවෙන්, තමන්ගේ මිතුරන් වෙනුවෙන් ඇය තමාගේ ශරීරයත්, ආත්මයත් ගුර්මුක් රායිට විකුණුවා. ඇය ඔහු ළඟට ගියා. රඟහල ඉදිවුණා.

නමුත් රඟහල විවෘත කරන දවසේ එහි නම ගසා තිබුණේ "බිනෝදිනී තියටර්" කියා නොවෙයි... "ස්ටාර් තියටර්" (Star Theatre) ලෙසයි. හේතුව ලෙස ඔවුන් කිව්වේ, "ගණිකාවකගේ නමක් රඟහලකට දැම්මොත් වැදගත් මිනිස්සු එන්නේ නෑ" කියලයි. ඇය රැවටුණා. ඇගේ ත්‍යාගයට ලැබුණු වටිනාකම එයයි.

598664937-2335989736911852-5215322320365939850-n.jpg

මවක් ලෙස විඳි වේදනාව

මේ සියලු වේදනාවන් මැද ඇයට සිටි එකම බලාපොරොත්තුව ඇගේ දියණිය, සකුන්තලා. තමන්ට අහිමි වූ ගෞරවනීය ජීවිතය දුවට දෙන්න ඇය සිහින මැව්වා. නමුත් දෛවය එතැනදීත් කුරිරු වුණා. වයස අවුරුදු 13 දී ඇගේ දියණිය අසනීප වී මිය ගියා. බිනෝදිනී සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.

අවසානය

වයස අවුරුදු 23 දී... ඔව්, යන්තම් අවුරුදු 23ක් වැනි ලාබාල වයසකදී, කීර්තියේ මුදුන් පෙත්තේ සිටියදීම ඇය රඟපෑමෙන් සමුගත්තා. ඉන්පසු වසර 50ක් පුරාවටම ඇය ජීවත් වුණේ ලෝකයෙන් සැඟවිලා. පිරිමින්ගේ රැවටීම්, සමාජයේ ගැරහුම් මැද ඇය අවසානයේ ආධ්‍යාත්මික සුවය සොයා ගියා.

1941 දී මිය යන විට ඇය ලියා තැබූ "අමර් කතා" (මගේ කතාව) පොතේ ඇය මෙහෙම අහනවා:

"මම පව්කාරියක් වෙන්න ඇති. ඒත් මම කරපු කැපකිරීම් වලට මේ ලෝකේ මට දුන්නු තැන මොකක්ද?"

599894522-2335989790245180-3840795765501644222-n.jpg

ඉන්දියානු වේදිකා නාට්‍ය කලාව පණ ගැන්වූ, ඒ වෙනුවෙන් තමන්වම විකුණූ මේ අසහාය ගැහැනියගේ නම අදටත් "ස්ටාර් තියටර්" එකේ බිත්ති අතර දෝංකාර දෙනවා ඇති.

chanu.JPG

සටහන: Chanu Nimesha

උපුටා ගැනීම : Chanu Nimesha ෆේස්බුක් ගිණුම 

මූලාශ්‍ර:
Amar Katha (My Story) - Binodini Dasi (Autobiography)
My Story and My Life as an Actress - Rimli Bhattacharya (Translation & Analysis)
Historical Archives of Bengali Theatre (Star Theatre History)

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.