කොලොම්බියාවට වසර ගණනාවකට පසු බලපෑ ප්‍රබලතම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 132 දෙනෙකු මියගොස් ඇති අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල තවත් පුද්ගලයන් සිරවී සිටිනු ඇතැයි බිය පළවීමත් සමඟ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ.

කොලොම්බියානු භූ විද්‍යා සේවය සඳහන් කළේ, රික්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් චොකෝ පළාතේදී එරට වේලාවෙන් පෙරවරු 7.34ට සිදුව ඇති බවයි. එය කිලෝමීටර් 103ක් ගැඹුරින් හටගෙන ඇති අතර, බටහිර කොලොම්බියාව හරහා සැතපුම් සිය ගණනක් දුරට විහිදුණු විශාල ප්‍රදේශයකට එහි කම්පනය දැනී තිබේ.

කොලොම්බියාවේ කෝපි වගා කලාපයට අයත් පෙරෙයිරා නගරයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ අවට නගර සහ Valle del Cauca කලාපයටද භූමිකම්පාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය චොකෝ පළාතේ සැන් හෝසේ ඩෙල් පල්මාර් ගම්මානය ආසන්නයේ පිහිටා තිබුණද, එම ප්‍රදේශයට පිවිසෙන සහ පිටවන මාර්ගවලට හානි සිදුව තිබියදීත් කිසිදු මරණයක් හෝ තුවාලයක් වාර්තා නොවීම ආශ්චර්යයක් බව එහි නගරාධිපති ලියෝන් ෆැබියෝ මරීන් මොන්කාඩා පැවසීය.

භූමිකම්පා හේතුවෙන් පුද්ගලයන් 480කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව කොලොම්බියාවේ අගනගර සංගමය සඳුදා නිකුත් කළ නවතම නිවේදනයක සඳහන් කර තිබේ.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 55ක් පමණ දුරින් පිහිටි පෙරෙයිරා නගරයට භූමිකම්පාවෙන් දැඩිම හානි සිදුවූ ප්‍රදේශ අතරට එක්වී තිබේ.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.