කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවුයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

ජලයට යම් අපද්‍රව්‍යයක් මුසුව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් මෙලෙස ආරක්ෂාකාරී පියවරක් ලෙස හදිසියේ ජල සැපයුම අත්හිටවූ බව එහි සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ ය.

කැළණි ගඟේ ජලයේ තත්වය සුරක්ෂිතව ඇති බව තහවුරු කරගත් පසුව අද උදෑසන 4.30 පමණ වනවිට නැවතත් අඹතලේ ජල පවිත්‍රාගාරයත් බියගම පවිත්‍රාගාරයත් ජලය නිෂ්පාදනය කිරීම බෙදා හරිම ආරම්භ කළ බව ඔහු වැඩිදුරටත් පැවසිය.

උදෑසන 7 වනවිට කොළඹ නගරයට ජලය බෙදා හැරීම යථා තත්වයට පත් කරගැනීමට හැකිවූ බව ඔහු පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ එක්ව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතින බවද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය විසින්ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලීසිය වෙත ඉදිරිපත් කර ඇතැයි ද පැවසු සභාපතිවරයා, ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අදාළ ආයතන දැනුවත් කර ඇති බවද කියා සිටියේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.