ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය අද (22) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දෙමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කළේ, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.

මෙම සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පවසමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන විසින් පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් එම පෙත්සම් විභාගයට ගෙන තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ, යෝජිත පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකට යොමු කළ යුතු කරුණක් නොවන බවයි.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.