මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙය සංවිධානය කරන ලද්දේ ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසිනි.

මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේශෂ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරී නැමීමට නියමිතය.

සාපේකෂ වශයෙන් ගත් කළ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේශණය සිදු කර නොමැති බැවින් නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට සහ ගවේෂණ සිදු කිරීමට ජාත්‍යන්තර සමාගම් සඳහා අවස්ථාව උදා වන බවත් දැනට අධිකාරිය සතු මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට ද අවස්ථාව ලබා දෙන බවත් ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නීල් ද සිල්වා පැවසීය.

ඒමෙන්ම මෙම ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක ප්‍රමාණයක් කැණීම්වලින් ලබා ගැනීමට හැකි වෙතැයි දැනට ඇති දත්ත වලින් අනුමාන කරන බවද ඔහු සඳහන් කළේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.