දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.

එම නිර්දේශයට අනුව, මාතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්න වෙත මේ බව දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා මෙම නිර්දේශය සිදුකර තිබේ.

බුද්ධි වාර්තාවලට අනුව, කාවඩි කණ්ඩායම් තෝරා ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර මතභේදයක් මතුව ඇති අතර, ඇතැම් පාර්ශ්වවලින් බරපතළ තර්ජන ද එල්ල වී ඇති බව සඳහන්.

මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්නට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් මරණ තර්ජන පවා එල්ල වී තිබුණි.

ජූලි 28 වනදා පැවැත්වෙන පෙරහැර නැරඹීමට විශාල ජනතාවක් සහභාගී වීමට අපේක්ෂා කරන බැවින්, මහජන ආරක්ෂාවට ඇති විය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින් පොලිස්පතිවරයා මෙම නිර්දේශය යෝජනා කර ඇති බව පොලිසිය පවසයි.

dasatha lanka news

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.