අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශ රටවලට මාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කළමනාකරුවන් ඔවුන් සේවය කරන බැංකු පරිශ්‍ර තුළදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් බැංකු නිලධාරීන් පිරිසක් එම බැංකු පරිශ්‍ර තුළදීම අත්අඩංගුවට ගැනුණු පළමු අවස්ථාව මෙය බව පොලිසිය සඳහන් කරයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම ජාවාරම මෙහෙයවූ බවට සැක කෙරෙන ප්‍රධාන පුද්ගලයා විසින් අදාළ බැංකු කළමනාකරුවන්ට සිය නීතිවිරෝධී ගනුදෙනු සඳහා සහය ලබාදීම වෙනුවෙන් නිතිපතා මුදල් ලබාදී ඇති බවයි.

ඒ අනුව, එක් කළමනාකරුවෙකුට සතියකට රුපියල් 30,000ත් 50,000ත් අතර මෙන්ම ඇතැම් අවස්ථාවල රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මීට අමතරව, එක් විශේෂ අවස්ථාවකදී බැංකු කළමනාකරුවෙකුට රුපියල් ලක්ෂ 10කට ආසන්න අල්ලස් මුදලක් ලබාදී ඇති බවද අනාවරණය වී ඇත.

මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයන් මෙන්ම නීතිවිරෝධී මුදල් සංසරණය වූ ජාලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.