සම්මානලාභී හොලිවුඩ් නිළියක මෙන්ම ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ තානාපතිවරියක වන රොසමුන්ඩ් පයික්, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ඉහළින් අගය කරමින් එය ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස හඳුන්වා තිබේ.

අගෝස්තු 10 වැනිදා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ සමඟ පැවති හමුවකදී පයික් මේ බව සඳහන් කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

හමුවේදී පයික් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළාය.

බිම් බෝම්බ සහිත ප්‍රදේශ ලෙස මීට පෙර හඳුනාගෙන තිබූ භූමි ප්‍රදේශවලින් සියයට 90ක් පමණ මේ වනවිට සාර්ථකව බිම් බෝම්බ ඉවත් කර අවසන් ප්‍රදේශ බව නිලධාරීහු සඳහන් කරති.

තවත් වර්ග කිලෝමීටර් 20.8ක පමණ භූමි ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත් ඉතිරිව ඇති අතර, එම ප්‍රදේශ බොහෝ දුරට දුෂ්කර හා සංකීර්ණ භූමි ප්‍රදේශවල පිහිටා ඇත. ඉදිරි වසර හතර ඇතුළත ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම් බෝම්බවලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම රජයේ අරමුණ වී තිබේ.

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 500 දෙනෙකු යෙදවීමට බලධාරීන් සැලසුම් කර ඇති අතර, අනෙකුත් සංවිධාන මගින් සිදුකරන ඉවත් කිරීමේ කටයුතුවලට අමතරව වාර්ෂිකව වර්ග කිලෝමීටර් 1.5ක පමණ භූමි ප්‍රමාණයක් පිරිසිදු කිරීම යුද හමුදාවේ ඉලක්කය වී ඇත.

පසුගිය වසරට සාපේක්ෂව බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන දෙගුණ කිරීමටද රජය පියවර ගෙන තිබේ.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.