ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා අනාගත දරු පිරිස සූදානම් කිරීම මෙන්ම රටට වැඩදායී ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ මඩකලපුව එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (14) පස්වරුවේ පැමිණ සිටි අවස්ථාවේ දී ය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහලට මෙම අවස්ථාව හිමි විය.

ජනාධිපති කාර්යාලයීය පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.

සමාජයට නායකත්වය දෙන, ලෝකය වෙනස් කිරීමට අවධානය යොමු කරන අනාගත පරපුරක් බිහි කිරීම කාලීන අවශ්‍යතාවක් බව ද අගමැතිනිය මෙහිදී ප්‍රකාශ කළාය.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය මෙන්ම, එමගින් පාසල් සිසුන්ට හිමි වන ප්‍රතිලාභ පිළිබඳවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ විසින් සිසු-සිසුවියන් දැනුවත් කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ලබා දීමද සිදු විය.

ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.