කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.

කිලෝග්‍රෑම් 115 බර පන්තිය යටතේ තරග කළ පණ්ඩුක, Hack Lift ඉසව්වේදී කිලෝග්‍රෑම් 282.5ක බරක් ඔසවමින් මෙම ලෝක වාර්තාව පිහිටුවා ඇත.

විශේෂත්වය වන්නේ මීට පෙර එම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියූ කිරිගිස්තාන ක්‍රීඩකයාද මෙවර තරගාවලියට සහභාගී වී සිටියදී පණ්ඩුක මෙම නව වාර්තාව පිහිටුවීමයි.

මීට අමතරව Incline Bench Press ඉසව්වෙන්ද පණ්ඩුක ජයලත් ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබේ.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 11 දෙනෙකු සහභාගී වී ඇති අතර, ඔවුන් රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් තරගාවලියේ අනුශූරතාව හිමිකරගෙන ඇත.

ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් පණ්ඩුක ජයලත් සඳහන් කළේ, 2028 වසර දක්වා පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලි තුනක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සුදුසුකම් ලබා ඇති බවයි.

තම ක්‍රීඩා දිවියේ පසුගිය වසර 6–7ක කාලය තුළ විදෙස් තරග සඳහා සහභාගී වීමට අවශ්‍ය සම්පූර්ණ වියදම් එගොඩ කැලණිය විහාරස්ථානයේ විහාරාධිකාරී අඹේපුස්ස අමරජෝති ස්වාමීන් වහන්සේ විසින් දැරූ බවද ඔහු සඳහන් කළේය.

විදෙස් තරග සඳහා සහභාගී වීමට ඇතැම් ක්‍රීඩකයින් තමන් සතු යතුරුපැදි පවා අලෙවි කරමින් සහ ණය ලබා ගනිමින් කටයුතු කරන බව පණ්ඩුක පැවසීය.

තමන් ඇතුළු ක්‍රීඩකයින්ගේ පෞද්ගලික කීර්තිය වෙනුවෙන් නොව, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඉහළට ගෙන යාම සඳහා තරග කරන බවත්, මෙවැනි ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩකයින්ට අවශ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙසත් ඔහු මෙරට ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.