තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (23) අදාළ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනයේ, චාවකච්චේරිය දක්වා බසයෙන් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඔවුන්ව අද (24) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වාලගෙන සිට ඇති බව වාර්තා වෙයි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ අනෙක් දරුවන් දෙදෙනා බලා පොලීසියට භාරවීමට සිටි බවය.

මෙම මෙහෙයුම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල පූර්ණ අධීක්ෂණය මත සිදුකර තිබුණි.

පසුගිය 17 වනදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබුණි.

මෙලෙස මරණයට පත්ව තිබුණේ, අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.