අතුරුගිරිය ප්‍රදේශයේ පසුගිය සඳුදා ( ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ජුලි 10 වැනිදා නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ, සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවය.

 

අතුරුගිරිය ප්‍රදේශයේ දී ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී සිදුකළ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

 

මේ අතර ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ බිරිඳ ගේ අත්බෑගයේ තිබී හමුවූ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියට බලපත්‍රයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් පැවසුවේය.

 

මේ සැකකරුවන් කවුද?

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අවුරුදු 24 සිට 37 දක්වා වූ වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයින් බව ය.

 

එලෙස අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර වෙඩි තැබීම සිදුවූ ස්ථානය වන ටැටූ ෂොප් ආයතනයේ හිමිකරු, වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය අම්බලන්ගොඩ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන පැමිණි සැකකරුවන් දෙදෙනෙකු, එම මෝටර් රථය අපරාධය සිදුකිරීමට පෙර සිය නිවස පිහිටි ඉඩමේ තබාගෙන සිටි සැකකරුවෙකු, අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරුවන්ට පලා යාමට භාවිත කළ වෑන් රථය තබාගෙන සිටි සැකකරුවෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

 

පොලිසිය භාරයට ගෙන ඇති භාණ්ඩ මොනවා ද?

 

අපරාධය සිදුකිරීමෙන් පසු සැකකරුවන් පලා ගිය ව්‍යාජ අංක තහඩු යෙදු මෝටර් රථය සහ වෑන් රථය, ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ ජංගම දුරකථනය විමර්ශන නිලධාරින් විසින් සිය භාරයට ගෙන ඇති බව ද පොලිසිය පැවසීය.

 

මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් (ජුලි 9) මාධ්‍යට පැවසුවේ මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් සියලු දෙනා ද ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නා බව ය.

 

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු පුද්ගලයින් දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී (ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත පැවසුවේ, "දැනට මේ ටැටූ ෂොප් එකේ හිමිකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.එම ප්‍රකාශ අනුවත් විමර්ශන නිලධාරින් ඉදිරි විමර්ශන කරනවා." යනුවෙනි.

 

"දැනට නිරීක්ෂණය වෙන කරුණක් තමයි මේ වෙඩි තැබීම විදෙස් රටක ඉදලා සැලසුම් කරල තියෙනවා කියන එක." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

මේ අතර ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිඳ හෝමාගම රෝහලේදී ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලට මාරු කොට යවා ඇති බව රෝහල් බලධාරීන් පැවසීය.

 

එමෙන්ම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ගායිකා කේ. සුජීවා ගේ පාදයකට වෙඩි වැදීම නිසා සිදුකළ ශල්‍යකර්මයෙන් පසු මේවන විට නේවාසික ප්‍රතිකාර ලබන බවත් ඇයගේ පාදයේ ස්ථාන දෙකකට බරපතල තුවාල සිදුවී ඇති බවත් රෝහලේ ප්‍රකාශිකාවක් බීබීසී සිංහල වෙත පැවසුවාය.

 

BBC සිංහල

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.