මෙරට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ගැටලුව ආමන්ත්‍රණය කිරීම සඳහා තිරසාර දේශපාලන කැපවීමක් මෙන්ම සාමූහික ප්‍රයත්නයන් අවශ්‍ය කරන බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිතායතනය අවධාරණය කරයි.

අගෝස්තු මස 30වැනි දිනට යෙදුණු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක්වූ වින්දිතයින්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් මෙරට ජාත්‍යන්තර රතු කුරුස කමිටු ප්‍රධාන කාර්යාලය විසින් පුවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ යුද වාතාවරණය අවසන් වී දීර්ඝ කලක් ගත වුව ද නොවිසඳුණු ගැටළු නිසා සිත් තුල ඇති වූ කම්පන තවමත් ඉතිරිව ඇති බැවින් ප්‍රජාවන් සුවපත් කිරීමට ඉන් බාධා ඇතිවිය හැකි බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

ICRC News Release
2026 අගෝස්තු 31

ශ්‍රී ලංකාව: අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ගැටලුව ආමන්ත්‍රණය කිරීම සඳහා තිරසර සහ සාමූහිකව දරන ප්‍රයත්නයන් තීරණාත්මක වේ.

(කොළඹ, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව) - අගෝස්තු 30 වන දිනදී, ජාත්‍යන්තර රතු කුරුස් කමිටුව (ICRC) සන්නද්ධ ගැටුම්, ප්‍රචණ්ඩත්වය, ආපදා සහ සංක්‍රමණ හේතු කොටගෙන ලොව පුරා අතුරුදහන් වූ හෝ ඔවුන්ගේ පවුල්වලින් වෙන්වූ දහස් ගණනක් තැනැත්තන්ට ගෞරව කරමින්, සහ තම ආදරණීයයන්ට අත්වූ ඉරණම කුමක්දැයි නොදැන වේදනාවෙන් කල් ගෙවන පවුල් සමඟ සිටිමින්, ඔවුන්ට සිය සහයෝගය දක්වයි.

ශ්‍රී ලංකාවේ රට පුරා සියලු ප්‍රජාවන්හි අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් දහස් ගණනක් තවමත් පිළිතුරු අපේක්ෂාවෙන් පසුවෙති. අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වලට ඔවුන්ගේ ප්‍රියයන්ට කුමක් සිදුවී ඇත්දැයි දැනගැනීමේ අයිතිය ඇත. වැලපෙන්නට, අවසනයක් දැකීමට හෝ තම ජීවිත යලි ගොඩනගා ගැනීමට නොහැකිව, සිය අතුරුදහන් වූ ආදරණීයයා නොමැතිවීම සහ ඒ සමඟ ඇතිවන අවිනිශ්චිතතාවය තුළින් පැන නඟින චිත්තවේගීය, ආර්ථික, නීතිමය, පරිපාලන සහ සමාජීය අභියෝගවලට මුහුණ දීමට මෙම පවුල් නිරතුරුව අරගල කරති.

අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම සංකීර්ණ සහ බහුවිධ ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවන් සහ හිමිකම් දරන්නන් වන අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් එහි වැදගත්ම පාර්ශ්වය වෙති. ඔවුන්ගේ අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමේ මූලික වගකීම ජාතික බලධාරීන් සතුවන අතර, පවුල්වල විවිධාකාර අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමට සහයවීමේ විස්තීර්ණ රාමුවක් ගොඩනඟා ගැනීමෙන්, දේශීය පාර්ශ්වකරුවන්ට පුළුල් සහ තිරසාර ප්‍රතිචාරයක් දැක්වීම සඳහා දායක විය හැකිය.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ සෙවීම එහිදී කේන්ද්‍රීය වන අතර, එය අතුරුදහන් වූ තැනැත්තන්ට අත්වී ඇති ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය පැහැදිලි කර ගැනීම සඳහා, බහුවිධ පාර්ශ්වකරුවන් විසින් නුබන සාමූහික ක්‍රියාමාර්ගයක් ඇතුළත් වැදගත් පියවරකි.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ක්‍රියාත්මක කරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, අදාළ පවුල්වලට සහය වෙමින්, ජාතික සහ ප්‍රාදේශීය ධාරිතාවන් ශක්තිමත් කරමින්, අතුරුදහන් වූ තැනැත්තන්ට අත්වී ඇති ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය දැනගැනීමට ඵලදායී සම්බන්ධීකරණයක් සහිත, රාජ්‍ය ප්‍රමුඛත්වයෙන් යුත් ප්‍රජාමුඛ ප්‍රයත්නයන් සක්‍රීය කරමින් තිරසාර ප්‍රතිචාරයක් ප්‍රවර්ධනය කිරීමයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ගැටලුව ආමන්ත්‍රණය කිරීම සාමය සහ සංහිඳියාව උදෙසාද බෙහෙවින් වැදගත් වේ. නොවිසඳූ සිද්ධිවලට සිත්හි කම්පනයන් චිරස්ථායි කිරීමට සහ සොවින් තැවීම තීව්‍ර කිරීමට හැකියාව ඇති අතර, ප්‍රචණ්ඩත්වය අවසන්වී දිගු කාලයක් වුවත්, ප්‍රජාවන් සුවපත් කිරීමට එයින් බාධා ඇති කළ හැකිය. සන්නද්ධ ගැටුමකින් දශක කිහිපයකට පසුව වුවත්, දිගුකාලීන වශයෙන් මෙම ගැටලුව නිරාකරණය කිරීමට තිරසාර දේශපාලන කැපවීමක් අවශ්‍ය වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.