CLOSE

අගෝස්තු 26 වැනිදා භෝටේ කොෂි ගඟේ ඇති වූ දැවැන්ත ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි රුවන්ති දෙල්පිටිය විසින් මෙම මූල්‍ය ආධාරය නේපාල විදේශ අමාත්‍ය ශිෂිර් ඛනාල් වෙත කත්මණ්ඩු නුවර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (9) නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම ආපදා තත්ත්වයෙන් රාසුආ, නුවකෝට්, ධාදින් ඇතුළු දිස්ත්‍රික්ක රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, විශාල ජීවිත හානි සහ දේපළ හානි සිදුව තිබේ.

ශ්‍රී ලංකා තානාපතිනිය එහිදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාල ජනතාව වෙත සිය සංවේගය සහ සහයෝගීතාව පළ කර ඇති අතර, ආපදාවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල් වෙත සිය ශෝකය ද ප්‍රකාශ කර තිබේ.

මෙම මූල්‍ය ආධාරය නේපාල රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය, සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා මෙන්ම ගංවතුර හා නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා යොදා ගැනීමට නියමිතය.

මෙම ආධාරය මගින් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, සහයෝගීතාව සහ සමීප සබඳතා තවදුරටත් තහවුරු වන බව ශ්‍රී ලංකා රජය සඳහන් කරයි.

නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියේදී ද සුදුසු ආකාරයෙන් සහාය ලබාදීම සඳහා නේපාල රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකා රජය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.