CLOSE

සේවක වැඩ වර්ජනයක් මුල් කරගෙන සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වැඩ වර්ජනය හේතුවෙන් සිදුවන මූල්‍ය පාඩුව අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

පසුගිය 25 වැනිදා පස්වරු 2.00 සිට සේවකයින් පිරිසක් රාජකාරිවලින් ඉවත්ව නිෂ්පාදන කටයුතු නතර කර තිබූ බව සමාගම සඳහන් කරයි. ඒ අනුව පසුගිය 26 සහ 27 යන දිනවල අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයින් හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබාදී තිබිණි.

කෙසේ වෙතත්, ඊයේ (28) නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා දැනුම් දී තිබුණද, සේවකයින් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම හේතුවෙන් කර්මාන්තශාලාව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

නැවත කර්මාන්තශාලාව විවෘත කරන දිනයක් පිළිබඳව මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.