CLOSE

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර, අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් බාහිරව රාජකාරි කරන උසස් පොලිස් නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් එය සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන්නේ තම පියාට පොලිස් නිලධාරීන් පහර දුන් බවට චෝදනා කරමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන ආකාරයයි.

පොලිසිය පවසන්නේ වීඩියෝවේ සඳහන් වියපත් පුද්ගලයා ඊයේ (24) රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයේ හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ආ බවයි.

අත්අඩංගුවට ගැනීමේදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇද වැටීමෙන් තුවාල සිදුවී රුධිර වහනය වූ බවට සලකුණු වීඩියෝ දර්ශනවල දැක්වෙන බවද පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා අද (25) අම්බලන්ගොඩ පොලිස් නිලධාරීන් විසින් බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂාවෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.