CLOSE

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා වැදගත් පියවරක් ලෙස නව ගිවිසුම් තුනකට අත්සන් තබා තිබේ.

මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සහ ජනපති අනුර කුමාර දිසානායක අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේ දී මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

දෙරට අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම, දෙරටෙහි ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව පැහැදිලි කරමින්, ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවද ජනපති අනුර කුමාර දිසානායක එහිදී සඳහන් කර ඇත.

ඉන්දියානු සාගර කලාපය සාමකාමීව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස තීන්දු තීරණවලට එළැඹෙන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් බවත් එහිදී අවධාරණය කර තිබේ.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.