CLOSE

ටෙහෙරානයේදී ඝාතනය කරන ලද ඉස්මයිල් හනියේ වෙනුවට හමාස් සංවිධානයේ නව සමස්ත ප්‍රධානියා ලෙස යෙහ්යා සින්වර් නම් කර තිබේ. ඒ, කටාර් රාජ්‍යයේ දෝහා නුවර දින දෙකක් පුරා පැවති දීර්ඝ සාකච්ඡා වලින් පසුව ය.

යෙහ්යා සින්වර් 2017 වසරේ සිට ගාසා තීරයේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ලබයි. ඒ අනුව ඔහු දැන් එහි දේශපාලන අංශ නායකයා බවට පත්වනු ඇත.

 

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ, සංවිධානයට නායකත්වය දීම සඳහා හමාස් නායකත්වය විසින් ඒකමතිකව සින්වර්ගේ නම තෝරාගත් බවය.

 

ඊශ්‍රායලයට චෝදනා එල්ල වන, හනියේ ඝාතනයට එරෙහිව පළිගන්නා බවට ඉරානය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍රපාර්ශවීය රටවල් තර්ජනය කර ඇති පසුබිම තුළ, මැද පෙරදිග කලාපයේ ආතතීන් වර්ධනය වන අතරවාරයේ හමාස් නායකත්වය සඳහා සින්වර්ගේ නම නිවේදනය කෙරුණි. හනියේ ඝාතනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වා නොමැත.

 

හමාස්හි ප්‍රමුඛ පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් දෝහා හි දින දෙකක කාලයක් පුරා පැවති දැඩි රැස්වීම්වලදී මීළඟ ප්‍රධානියා සඳහා වූ විකල්ප නම් එකින් එක කපා හැරුණි.


බොහෝ පුද්ගලයින් පිළිබඳ සාකච්ඡා වූ නමුත් අවසානයේ නම් දෙකක් පමණක් අවසන් වටයට ඉදිරිපත් කෙරුණි: යෙහ්යා සින්වර් සහ සෙවනැලි චරිතයක් වන හමාස් දේශපාලන මණ්ඩලය තෝරා පත් කර ගන්නා ආයතනය වන ෂුරා කවුන්සිලයේ ප්‍රධානී මොහමද් ඩෙයිෆ්ගේ නම් ඊට ඇතුළත් විය.


“ඊශ්‍රායලයට එරෙහි පණිවිඩයක්” ලෙස සින්වර් තෝරා ගැනීමට කවුන්සිලය ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළ බව හමාස් නිලධාරියෙකු බීබීසී වෙත අනාවරණය කළේය.


“විසඳුම්වලට විවෘත නම්‍යශීලී පුද්ගලයෙක් වෙච්ච හනියේව ඔවුන් මරා දැම්මා. දැන් ඔවුන්ට ගනුදෙනු කරන්න වෙන්නෙ සින්වාර් සහ හමුදා නායකත්වය එක්ක," හමාස් නිලධාරියා පැවසීය.


මරණයට පෙර, රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් හමාස් හි අනෙකුත් නායකයින් සමග හනියේ සසඳනු ලැබුවේ ප්‍රායෝගික චරිතයක් ලෙස ය. ඔහු කණ්ඩායමේ දේශපාලන ප්‍රවාහයේ ප්‍රධාන ධාවකයා විය.


අනෙක් අතට, යෙහ්යා සින්වර් හමාස් සංවිධානයේ අතිශය අන්තවාදී චරිතයක් ලෙස සැලකේ.


සින්වර් දැනට ඊශ්‍රායලයේ වඩාත්ම අවශ්‍යම හමාස් නායකයින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටී. ඊශ්‍රායලයේ ආරක්ෂක ඒජන්සි විශ්වාස කරන්නේ ඔහු 2023 ඔක්තෝම්බර් 7 ප්‍රහාරය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ මහ මොළකරු බවටය, ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන යනු ලැබුණි.


"ඉස්මයිල් හනියේ වෙනුවට හමාස් හි නව නායකයා ලෙස පරම ත්‍රස්තවාදියෙකු වන යාහ්යා සින්වාර් පත් කිරීම, ඔහුව ඉක්මනින් තුරන් කිරීමටත්, මෙම දරුණු සංවිධානය මිහිතලයෙන් අතුගා දැමීමටත් තවත් ප්‍රබල හේතුවක්" යැයි ඊශ්‍රායල විදේශ අමාත්‍ය කැට්ස් X පනිවිඩයක් නිකුත් කැරමින් ප්‍රකාශ කළේය.


"යාහ්යා සින්වාර් කියන්නේ ත්‍රස්තවාදියෙක්, ඔහු ඉතිහාසයේ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකිව යුතුයි" යැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි සෞදි ප්‍රවෘත්ති නාලිකාවක් වන අල් අරබියා (Al-Arabiya) වෙත පැවසීය.


ඔක්තෝම්බර් ප්‍රහාරයෙන් පසු සින්වාර් ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු අතර ඔහු ගාසා තීරයේ "මහල් 10 ක් පොලව යට" සැඟවී සිටින බව විශ්වාස කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ජුනි මාසයේදී පැවසීය.

 

සින්වාර් 1962 දී ගාසා හි ඛාන් යුනිස් සරණාගත කඳවුරේදී උපත ලැබීය.


1980 දශකයේ අගභාගයේදී, සින්වාර් විසින් මජ්ඩ් (Majd) ලෙස හඳුන්වන හමාස් ආරක්ෂක සේවය ආරම්භ කරන ලද අතර, ඊශ්‍රායලය සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන්නේ යැයි කියනු ලබන පලස්තීනුවන් ඉලක්ක කරන ලදී.


ඔහු සිය ජීවිතයේ වැඩි කාලයක් ඊශ්‍රායල බන්ධනාගාරවල ගත කර ඇත - 1988 දී තුන්වන අත්අඩංගුවට ගැනීමෙන් පසු සින්වාර්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හතරක් නියම විය.


හමාස් සංවිධානය විසින් වසර පහකට වැඩි කාලයක් සිරකරගෙන සිටි ඊශ්‍රායල සොල්දාදුවෙකු වූ ගිලාඩ් ෂාලිට් නිදහස් කර ගැනීම සඳහා 2011 වසරේදී ක්‍රියාත්මක කළ සිරකරු හුවමාරුවේදී ඊශ්‍රායලය විසින් නිදහස් කරන ලද පලස්තීන සහ ඊශ්‍රායල අරාබි සිරකරුවන් 1,027 අතර ඔහු ද විය.


61 හැවිරිදි සිනාවර් 2017 දී ගාසා තීරයේ හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලද අතර ඔහු මේ දක්වා එම ධුරයේ කටයුතු කළේය.


එක්සත් ජනපදය අසාදු ලේඛන ගත කර ඇති පුද්ගලයින්ගේ නම් ඇතුළත් "ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ" ලැයිස්තුවට සින්වාර්ගේ නම ද ඇතුළත් කර තිබේ.

 

රශ්ඩි අබූලෝව්
Role, ගාසා වාර්තාකරු

 

BBC සිංහල 

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.