මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ.

අදාළ කැබ් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බව පොලීසිය තහවුරු කර ඇත. සැකකාර රියැදුරා වයස අවුරුදු 42ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවද සඳහන් වේ.

හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීම හේතුවෙන් එහි සිටි 06දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

එමෙන්ම කුඩා දරුවෙකු ඇතුළු තවත් 7දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එම අවස්ථාවේදී අදාළ දන්සැල් පෝලිමේ සිටි වයස අවුරුදු 15, 32, සහ 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු, වයස අවුරුදු 35 සහ 38 වයස්වල පසු වන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇත.

අදාළ රියැදුරා අනතුර සිදු කර පලා ගොස් ඇති අතර ගොඩගම හන්දියේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.