රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජිත පනත් කෙටුම්පතට අනුව, සුනඛයෙකු ලියාපදිංචි නොකරන හිමිකරුවෙකුට රුපියල් 2,000ක දඩයක් පැනවීමට යෝජනා කර ඇත.
පනත් කෙටුම්පත මගින් පළාත් පාලන ආයතන බලප්‍රදේශවල සිටින සුනඛයන් සඳහා වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබාදීම සහ අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව, සති හයකට වැඩි වයසැති සුනඛයෙකු හිමිකාරිත්වය යටතේ තබා ගන්නා පුද්ගලයෙකු එම සුනඛයාට ජලභීතිකා එන්නත ලබාදී ඇති බවත්, වාර්ෂික ලියාපදිංචිය සිදුකර ඇති බවත් තහවුරු කළ යුතු වේ.
එන්නත ලබාදීමෙන් සහ සහතිකය නිකුත් කිරීමෙන් අනතුරුව, නියමිත ගාස්තුව ගෙවා සුනඛයා අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු අතර, ඒ සඳහා ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීමටද නියමිතය.
මේ අතර, සිය බලප්‍රදේශ තුළ සිටින වීදි සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පළාත් පාලන ආයතන වෙත පැවරෙන වගකීමක් ලෙසද පනත් කෙටුම්පතේ සඳහන් වේ.
වාණිජමය අරමුණු සඳහා සුනඛයන් බෝ කිරීමද නියාමනය කිරීමට යෝජනා කර ඇති අතර, සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කිරීමටද යෝජනා කර තිබේ.
එම බලපත්‍රය නොමැතිව වාණිජමය අරමුණු සඳහා සුනඛ පැටවුන් අලෙවි කිරීම තහනම් කිරීමටද නව පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.