අපි අපට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා සටන් කරන්නෙමු. නීතියේ පිළිසරණ පතන්නෙමු. අයිතිවාසිකම් හිමි වූ පසු ඒවා රැකගන්නට වෙර දරන්නෙමු. එලෙස නීතිමය ප්‍රතිපාදන සැලසුණු පසුත්, සිය මූලික අයිතීන් සපුරා ගැනීමේ ඉඩකඩ 16 වසරක් තිස්සේ එක් ප්‍රජාවකට ඇහිරී තිබීමම, ඔවුන් කෙරෙහි වගකිවයුත්තන්ගේ ඇති සැලකිල්ලේ තරම පෙන්වයි.

dis-6.JPG

2012 වසරේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සංගණනයට අනුව රට තුළ සිටින ආබාධිත පුද්ගලයන් ගණන 16,17,924 කි. 2024 වසරේ පැවති සංගණනයේ වාර්තා තවමත් අවසන් කර නොමැති බැවින් මේ වනවිට ආබාධ සහිත පුද්ගලයන් කොපමණ සංඛ්‍යාවක් මෙරට තුළ වාසය කරන්නේ ද යන්න තවම පැවසිය නොහැකි බවයි එම දෙපාර්තමේන්තුවේ ජන සංගණන හා ප්‍රජා විද්‍යාත්මක අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර අප සමඟ පැවසුවේ. සංඛ්‍යාත්මකව කෙසේ වෙතත්, මෙරට පුරවැසි නියෝජනයක් වන ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ අයිතිය තහවුරු කිරීම උදෙසා රාජ්‍යය නීතිමය වශයෙන් බැඳී සිටියි. එකී අයිතිය තහවුරු කරමින් රාජ්‍ය ආයතනවලට බාධාවකින් තොරව ප්‍රවේශවීමේ පහසුකම් සැපයීම අනිවාර්ය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2009 සහ 2018 තීන්දු දෙකක් ලබාදී තිබුණ ද සමහරක් රාජ්‍ය ආයතන එම තීන්දු කුණුමුල්ලේ ලා සැලකීම ඛේදජනක තත්වයකි.  

whatsapp-image-2025-08-28-at-112234-am-1.jpeg

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  

උපතේ සිට විපත දක්වා නොයෙක් රාජකාරී සපුරා ගැනීමට ආබාධිත ප්‍රජාව නිතර පිවිසෙන රාජ්‍ය ආයතන ලෙස, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තත්වය විමසා බැලීමට ඒ අනුව අපි කටයුතු කළෙමු. මේ සඳහා අප විසින් තෝරාගනු ලැබුවේ 2012 සංගණනයට අනුව ලක්ෂ එකහමාරකට වැඩි ආබාධිතයන් පිරිසක් වාසය කරන කොළඹ දිස්ත්‍රික්කයට අයත්, මහරගම, කැස්බෑව, හෝමාගම සහ රත්මලාන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයි.

මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආබාධිත ප්‍රජාව ගේ ප්‍රවේශ පහසුකම් තහවුරු කර ඇති බව තිරකොට ප්‍රකාශ කළ ද අප කළ නිරීක්ෂණයේ දී පෙනී ගියේ ප්‍රායෝගිකව එය එසේ නොවන බවයි. ප්‍රවේශය පිළිබඳ රජයේ නිලධාරීන්ගේ අවබෝධය, ආකල්ප මෙන්ම පහසුකම්වල ප්‍රමිතිය ද ප්‍රශ්න සහගත විය.

මහරගම, හෝමාගම සහ රත්මලාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සාපේක්ෂව කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධිත ආධාර ලබා ගන්නා පිරිස ද සංඛ්‍යාත්මකව ඉහල අගයක් ගනී.  

grapgh-disable-1.jpg


ප්‍රමිතියක් නැහැ    

whatsapp-image-2025-08-28-at-112234-am-1.jpeg

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය    
"උඩ තට්ටුවට යන්න රෑම්ප් එකක් තියනවා. රෑම්ප් එක තියන තැන වාහන පාක් කරන්න දෙන්නේ නෑ අපිට. එතන වෙන්කරලා තියෙන්නේ කාර්ය මණ්ඩලයේ අයට. අපේ වාහන පහළ තියෙන පාක් එකේ නවත්තලා වීල් චෙයා එකේ උඩට එන්න ඕන. එතන කන්දක් වගේ තියෙන්නේ. ඒ කන්දේ තනියම වීල් චෙයා එකේ එන්න අමාරුයි. ඒ ඇවිල්ලා තමයි රෑම්ප් එක පාවිච්චි කරන්න ඕන."  

සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන චලනාබාධිත පුද්ගලයෙක් අප සමඟ මෙම අදහස් පළ කර සිටියේ ය. හඳුනා ගැනීමේ පහසුව පිණිස මෙතැන් සිට "කමල්" යන අන්වර්ථ නාමයෙන් ඔහු හඳුන්වමු.

whatsapp-image-2025-08-28-at-112233-am.jpeg

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පහල පිහිටි රථ වාහන ගාල් කරන ස්ථානය  

2006 ඔක්තෝබර් 17 හා අංක 1467/15 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් නිකුත් කර ඇති අංක 1619/24 හා 2009.09.18 දින දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව අලුතින් ඉදිවන සියලුම ගොඩනැගිලි ආබාධිත තැනැත්තන්ට ප්‍රවේශ පහසුකම් සහිතව ඉදි කළ යුතු අතර දැනට පවත්නා සියලුම රජයේ ප්‍රසිද්ධ ගොඩනැගිලි සහ සේවා සපයන ආයතන අදාළ ප්‍රවේශ පහසුකම් සැකසීම පිළිබඳ සම්මතයන් හා මාර්ගෝපදේශවලට අනුකූලව සැකසිය යුතු ය. ඒ අනුව රථ ගාල් කිරීමේ ස්ථාන, පෙත්මං සහ කොරිඩෝ, බිම්මහල් සහ උඩුමහල්වල බිම මතුපිට, අත්වැටවල්, පඩි සහ තරප්පු, බෑවුම් සහිත ප්‍රවේශ මාර්ග (Ramp), විදුලි සෝපාන, ප්‍රසිද්ධ ගොඩනැගිලි දොරටු හා ඇතුල්වන ස්ථාන, වැසිකිලි ආදියට ප්‍රවේශය රජයේ ආයතන තහවුරු කළ යුතු ය.  

whatsapp-image-2025-08-28-at-112248-am.jpeg

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ගේ කාර්යාලය පිහිටි ස්ථානය  

 

"සමාජ සේවා නිලධාරියා ඉන්න තැනට යන්න පුළුවන්. ඒත් ශ්‍රවනාගාරයට හරි ප්‍රාදේශීය ලේකම්තුමිය ඉන්න තැනට හරි යන්න අමාරුයි. පඩිපෙළ තියෙනවා. අපි මාසෙකට සැරයක් වත් ශ්‍රවනාගාරයට යනවා රැස්වීම් තියනකොට. රැස්වීම්වලට ආබාධිත ගොඩ දෙනෙක් එනවා. 100%ක් ප්‍රවේශය තියෙනවා කියන්න බෑ හරි ප්‍රමිතියකුත් නෑ. හදල දෙන්න කියලා ඉල්ලීම් කළාට තාම වැඩක් වුණේ නෑ," යැයි කමල් පැවසුවේ ය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂන්කා උඩවත්ත ගෙන් අදහස් විමසීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවූ අතර, ඒ වෙනුවෙන් අදහස් දැක්වූ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී කේ.වයි. පෙරේරා කියා සිටියේ එය එසේ නොවන බවත් ප්‍රවේශ පහසුකම් තහවුරු කිරීමට කටයුතු කර ඇති බවත් ය.

"ප්‍රධානම කාරණය ආබාධිත අයට එන්න පුළුවන් තැනක අපේ කාර්යාලය පිහිටලා තියෙනවා. ප්‍රවේශය ගත්තොත්, රෑම්ප් එක තියෙනවා, මට සංඥා භාෂාව හසුරවන්න පුළුවන්, සමාජ සේවා කාර්යාලය පිහිටලා තියෙන්නේ පහල තට්ටුවේ එතන පඩියක් (පඩිපෙළ) මුකුත් නෑ. මම සෙකියුරිටිට කියලා තියෙනවා ආබාධිත අය එනකොට බලන්න කියලා. උඩ පාක් එකේ ආබාධිත අයට වාහන නවත්තන්න දෙනවා."

 

whatsapp-image-2025-08-28-at-112249-am-1.jpeg

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රවේශයට ඇතුළුවෙන තැන පිහිටි රථ වාහන ගාල් කරන ස්ථානය    
ඔහු එසේ ප්‍රකාශ කළ ද, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රවේශයට ඇතුළුවෙන තැනම පිහිටි යහමින් ඉඩකඩ සහිත වූ රථ වාහන ගාල් කරන ස්ථානයේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ වෙන් කිරීමක් සිදු කර ඇති බවට අපිට නිරීක්ෂණය නොවුනි. එසේම, ආබාධිතවූවන් සඳහා වෙන්කෙරුණු වැසිකිලිය ද මහජන දිනය පුරා අගුලු ලා ඇති බව දකින්න ලැබුණි. අනෙකුත් දිනවල දී ද වැසිකිලිය අගුලු ලා ඇති බවත් අවශ්‍යතාවක් මතු වුවහොත් සමාජ සේවා අංශයට පවසා වැසිකිලිය විවෘත කරගැනීමට සිදුවන බවත් අපට දැනගන්නට ලැබුණි.

 

whatsapp-image-2025-08-28-at-112114-am.jpeg

අගුලු ලෑ වැසිකිළිය    
සමස්තයක් ලෙස ගත්විට රාජ්‍ය ආයතනවලට ඇති ප්‍රවේශයේ බරපතල ගැටළු ඇති බවත් ඒවාට කඩිනම් පිළියම් යෙදිය යුතු බවත් ශ්‍රී ලංකා ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලි පතිරගේ පවසන්නී ය.

rasanjali.jpg
රසාංජලි පතිරගේ  

"රජයේ ආයතන ගත්තත් ප්‍රවේශය තියලා තියනවා ඉස්සරහින් පොඩ්ඩක් යන්න එන්න. නමුත් වැසිකිලි පහසුකම් ආදිය නැහැ. ප්‍රවේශය කියන්නේ ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමේ පහසුකම විතරක් නෙවෙයි. සන්නිවේදනයත් ප්‍රවේශයේ කොටසක්. ශ්‍රව්‍යාබාධිත කෙනෙක් ගියොත් එයාට සංඥා භාෂාවෙන් සේවය ගන්න පහසුකම තියෙන්න ඕන. දෘශ්‍යාබාධිත අයට පහසුවෙන් තොරතුරු ගන්න පුළුවන් ක්‍රමවේද සැකසෙන්න ඕන. මේ ඔක්කොම ප්‍රවේශයට ඇතුලත්. අනික 90% විතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල තියෙන්නේ උඩ. ශ්‍රවනාගාරය උඩ, කොටින්ම ප්‍රාදේශීය ලේකම් ඉන්නෙත් උඩක. ඉතින් මම දකින්නේ නෑ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඔය කියන ප්‍රවේශය දකින්න තියනවා කියලා."    

ආබාධිත දීමනාව යොදාගෙන සමාජ සේවා නිලධාරීන් විසින් ආබාධිත ප්‍රජාව හැසිරවීම ගැන කමල් දැඩි සංවේගයෙන් යුතුව අදහස් පළ කළේ ය.

"ඇත්තටම ආබාධ සහිත පිරිස සමාජගත කරන්න නෙවෙයි එයාලට (ප්‍රා.ලේ.කා. නිලධාරීන්) ඕන. අපි අල්ලාගෙන රාජකාරි ටික කරගන්න විතරයි ඕන. ආධාර රජයෙන් ලැබෙනවා ඔයාල මේ කියන විදියට ඉන්න ඕන කියන මට්ටමේ ඉන්නේ. ආබාධ සහිත පුද්ගලයෝ හිරකරලා වගේ ඉන්නේ. එයාලට ඕන නෑ අපි ස්වාධින කරන්න," කමල් පැවසුවේ ය.

අපිට මෙහෙම නම් අනෙක් අය ගැන කවර කතා ද?  

ve56.JPG


යම්කිසි සේවාවක් ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතනයකට යන ආබාධිත ප්‍රජාව බොහෝ අවස්ථාවල දී එහි නිලධාරීන්ගේ අකාරුණිකකම්වලට මුහුණ දෙන බව දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරියෙක් වන දෘශ්‍යාබාධිත ප්‍රජාව නියෝජනය කරන සනත් ගුණරත්න පැවසුවේ ය.

"ආබාධිත ප්‍රජාවට උදව් කිරීම කියන කාරණය සාපේක්ෂයි. ඒ ඒ ආයතනවල සේවය කරන නිලධාරීන්ගේ ආකල්ප අනුව මේ කාරණය සාපේක්ෂ වෙනවා. ප්‍රවේශ පහසුකම් සැලසුවත් වැඩක් නැහැ  නිලධාරියා හොඳ නැතිනම්. බොහෝ නිලධාරීන්ට ආබාධිත ප්‍රජාව ගැන දැනුවත්භාවයක් නැහැ. සමහරු තමන්ගේ රාජකාරිය කිසිම හැඟීමකින් නෙවෙයි කරන්නේ. පත් කරලා තියෙන හින්දා කරනවා මිසක් මානුෂිය නැහැ. ඒ වගේම ආයතන ප්‍රධානියාගේ සවිඥානිකත්වය අනුව සේවාවන් හැදිලා තියෙන්නේ."  

එමෙන්ම මෙම එක රාජ්‍ය ආයතනයකවත් දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ගමන් කරන දිශාව හඳුනාගැනීමට උපකාරී වන මාර්ගෝපදේශ ගල් බිමට අල්ලා නැති බව ඔහු කියා සිටියේ ය.

side-walk.JPG

"තනියෙන් ගිහින් දෙයක් කරගන්න බැහැ. ආබාධිතයි කියලා උදව් කරන්න පෙළෙඹෙන්නේ නෑ අඳුරන කෙනෙක් හිටියොත් උදව් කරනවා මිසක්. අපි වුනත් සමහර ආයතනවලට ගියාම මුලින් පහත් මට්ටමට දාලා සලකන්නේ පස්සේ අපි කරන රැකියාව එහෙම දැනගත්තම යම් සැලකිල්ලක් දක්වනවා. අපිට මෙහෙම නම් අනික් ආබාධිත පිරිසට ලැබෙන සැලකිලි ගැන කවර කතා ද?"  

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන දෘශ්‍යාබාධිත තත්වයේ පසුවන අනුර ජයතිලක සහ චන්දිම ප්‍රියන්ත කියා සිටියේ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුතින් ඉදි කළ ගොඩනැගිල්ලේ ප්‍රවේශ පහසුකම් ඇති නිසා වැඩ කටයුතු කරගැනීම වඩාත් පහසු වී ඇති බවයි. සිය නිෂ්පාදන ආදිය අලෙවි කරගැනීම ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ වෙනම වෙළඳකුටි පවා සූදානම් කර දී ඇති බවත් කාර්ය මණ්ඩලය පවා කාරුණිකව තමන්ට සලකන බවත් ඔවුහු අප සමඟ පවසා සිටිය හ.

 

whatsapp-image-2025-08-28-at-112259-am-2.jpeg

ගංගා මැහුම් නිෂ්පාදන අලෙවි කරමින්    
"මෙහෙ වැඩ කරන හැමෝම හොඳයි. අපිට හොඳට සලකනවා. අපේ බඩු විකුණගන්න තැනක් හදලා දීලා තියෙනවා. ජීවත් වෙන්න අතට ගානක් හොයා ගන්න අපිට දීලා තියෙන අවස්ථාව හරියට වටිනවා," එහි වෙළඳකුටියක සිය මැහුම් නිෂ්පාදන අලෙවි කළ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව නියෝජය කරන ගංගා අප සමඟ පැවසුවා ය.

බෑවුම් සහිත ප්‍රවේශ මාර්ග (Ramp), විදුලි සෝපාන, වැසිකිලි ඇතුළු බොහොමයක් ප්‍රවේශ පහසුකම් සපුරාලීමට හැකිවී ඇති බව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුතින් ඉදි කරන ලද ගොඩනැගිල්ල නිරීක්ෂණයේ දී අපට දක්නට ලැබුණි.

"ආබාධිත කෙනෙක් ආවොත් පහල පිළිගැනීමේ කවුළුවෙන් ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරලා දෙනවා. නිලධාරීන් ඔවුන්ට සහයෝගය දෙනවා අත්‍යවශ්‍ය වැඩ කරගන්න. ආබාධිත දීමනාව ගන්න තියෙන්නේ පලවෙනි තට්ටුවේ, අපහසුතා තියෙන කෙනෙක් ඉන්නවනම් අපි ඒ දේ කරලා දෙනවා," යනුවෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක පැවසුවේ ය. තවමත් ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරන බැවින් ප්‍රවේශය සඳහා අඩුපාඩු තිබේ දැයි සොයා බලා ඉක්මනින් ඒවා සැපිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවේ ය.  

homagama-new.jpg

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුතින් ඉදි කළ ගොඩනැගිල්ලේ ප්‍රවේශ පහසුකම්  

පැරණි ගොඩනැගිලිවලට ආබාධිත ප්‍රජාව සඳහා ප්‍රවේශය නොමැති විය හැකි නමුත් අලුතින් ඉදි කෙරෙන ගොඩනැගිලිවල සැලසුම් අනුමත කිරීමේ දී 2006 ගැසට්ටුවට අනුව ප්‍රවේශ පහසුකම් ප්‍රමිතීන්ට අනුකුල දැයි තහවුරු කරගන්නා මෙන් අදාළ ආයතන දැනුවත් කර ඇති බව ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජයමාලි සී වික්‍රමආරච්චි අප කළ විමසුමක දී පැවසුවා ය.

ආබාධ සහිත පුද්ගලයන් සමාජයේ සක්‍රීය පුරවැසියන් ලෙස සැලකීම වත්මන් රජයේ අරමුණ බවත්, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා නව පනතක් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය කෙටුම්පත අගෝස්තු මාසයේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ඉකුත් ජූලි 23 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී කියා තිබුණි.

ඊට අදාලව අදහස් පළ කළ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා "2006 ගැසට් එක අපි මේ වෙනකොට අලුත් කරගෙන යනවා දැන් කෙටුම්පත් කරලා ඉවරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන විදියට, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගැලපෙන විදියට තමයි අපි අලුත් කෙටුම්පත හදලා තියෙන්නේ," යැයි කියා සිටියා ය.

ප්‍රායෝගික ගැටළු තියෙන්න පුළුවන්  

whatsapp-image-2025-08-28-at-112250-am-2.jpeg

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ප්‍රවේශ මාර්ග (Ramp)  

අනෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සංසන්දනයේ දී මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආබාධිත ප්‍රජාව සඳහා ප්‍රවේශය තහවුරු කිරීමට විශේෂ ප්‍රයත්නයක් දරා ඇති බව දක්නට ලැබුණි. රථ වාහන ගාල් කිරීම සඳහා වෙන්වූ ස්ථානයක්, බාධා රහිත බෑවුම් සහිත ප්‍රවේශ මාර්ගය මෙන්ම රෝද පුටුවක් සමාජ සේවා කාර්යාල අසල ස්ථාපිත කර තිබීම ද අප දුටු විශේෂත්වයකි. එසේම, වැසිකිලි, විදුලි සෝපානය, අත්වැට, සම්මන්ත්‍රණ ශාලාවට පිවිසුම ආදී ප්‍රවේශ පහසුකම් ද දක්නට ලැබුණු නමුත් සංඥා භාෂාව පිළිබඳ සේවක පුහුණුව නොමැති වීම අඩුපාඩුවක් ලෙස සැලකිය හැකි ය.  

mahargaamw.jpg

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - රථ වාහන ගාල් කරන ස්ථානය සහ සලකුණු කර ඇතිපඩිපෙළ  

 

මහරගම වෙසෙන රංගනී මධුවන්ති ආබාධිත තත්වයේ පසුවන දොළොස් හැවිරිදි පුතකු ගේ මවකි. ඇය අප සමඟ කියා සිටියේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබෙන සහයෝගය ඉතාම අගය කරන බවයි.


"ඉඩකඩත් එක්ක අපිට ප්‍රවේශය තහවුරු කරන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර තැන්වල එහෙමවත් නැහැ. ප්‍රායෝගික ගැටළු තියෙන්න පුළුවන්," යි මහරගම ප්‍රාදේශීය ලේකම් රංජිකා හිමාලි කරුණාරත්න පැවසුවා ය.

maharagama-e.jpg

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වැසිකිලි ප්‍රවේශ පහසුකම්    
පර්චස් 26ක තරම් අවම ඉඩ ප්‍රමාණයක පිහිටා ඇති රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රථ වාහන ගාල් කරන ස්ථානයක් නොමැති බවත් අවම ඉඩකඩක් ඇති නිසා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් වෙනම වැසිකිලි පහසුකම් සපුරාලීමට නොහැකි වී ඇති බවත් රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොල පැවසුවාය. කෙසේ වෙතත්, බෑවුම් සහිත ප්‍රවේශ මාර්ගය ආසන්නයටම වාහනයකින් පැමිණීමට ඉඩ ලබාදෙන බවත් අවම පහසුකම් යටතේ පවා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා ය.

rathmalana.jpg

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඇතුල්වීමේ ස්ථානය සහ වැසිකිළිය   

සංඥා භාෂා අවශ්‍යතාව පිළිබඳ විමසීමේ දී බොහොමයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ පිළිතුර වූයේ එවැනි අවශ්‍යතාවක් එතරම් දැනී නොමැති බවයි. නමුත් ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනයේ, ප්‍රධාන ලේකම් අනිල් ජයවර්ධන අප සමඟ අවධාරණය කර සිටියේ සංඥා භාෂාව භාවිත කරන නිලධාරීන් රාජ්‍ය ආයතනවල නොමැති වීමෙන් සන්නිවේදන ප්‍රවේශයට දැඩි සේ බාධා ඇතිවන බවත් ඒ අනුව ආබාධිත පුද්ගලයන් හට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ඇහිරී යන බවත් ය.  

whatsapp-image-2023-05-09-at-92651-am.jpeg
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජයමාලි සී වික්‍රමආරච්චි  

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජයමාලි සී වික්‍රමආරච්චි අප කළ විමසීමක දී පැවසුවේ මේ වනවිටත් රාජ්‍ය නිලධාරීන් උදෙසා සංඥා පුහුණුව ආරම්භ කර ඇති බවයි.

"සන්නිවේදන ප්‍රවේශයට අපි රාජ්‍ය නිලධාරීන් උදෙසා සංඥා භාෂා පාඨමාලාව පටන් ගත්තා. එන අවුරුද්දට දිස්ත්‍රික් 25ට පාඨමාලා 25ක් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. අපි බජට් ඉල්ලලා තියෙන්නේ එන අවුරුද්දට ඒකට. දැනට අපි මේ අවුරුද්දට පාඨමාලා දෙකක් කරනවා කොළඹ ආරම්භයක් හැටියට. ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍යංශවල නිලාධාරින් ඇතුළුව මේ වෙනකොට 68ක් වගේ සහභාගී වෙනවා පාඨමාලාවට. ආයතනයකට දෙන්නා ගානේ වත් පුහුණු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ."  

ප්‍රවේශ සඳහාම නිශ්චිත අයවැයක්  

 

sugath-desilva-pm.JPG

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් ද සිල්වා    
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සුළු පරිමාණයෙන් ප්‍රවේශ පහසුකම් නිර්මාණය කර ඇති නමුත් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු පවතින බව දෘශ්‍යාබාධිත ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් ද සිල්වා පැවසුවේ ය. ප්‍රවේශ පහසුකම් සම්බන්ධ විගණන සිදු කළ ත් ඒ පහසුකම් යථාවත් කිරීමක් සිදු කරන්නේ ද යන්න ප්‍රශ්න සහගත බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

"ප්‍රාදේශීය ලේකම් කාර්යාල කියන්නේ විශාල ජනකායක් එක්රැස් වන තැනක්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආශ්‍රිතව ස්වශක්ති සංවිධානය කියලා ආබාධිත සංවිධාන ජාලයක් තියෙනවා ඒ රැස්වීම්වලට එන යන එක අපහසුවෙලා තියෙනවා. මොකද ගොඩක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රැස්වීම් ශාලාව තියෙන්නේ තුන්වෙනි මහලේ වගේ. සෝපාන නැහැ පඩිපෙළ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි උසින් අඩු පුද්ගලයන්ට කවුන්ටරයක් ලඟට ගිහින් ඒ වැඩේ කරගන්න අවශ්‍ය උස මට්ටමින් ඒවා හදලා තියෙන්නේ ඕන. දෘශ්‍යාබාධ අයට උපකාරක කවුළුවක් තියෙන්න ඕන. මේ සියල්ල ආවරණ වුනොත් තමයි අපිට පුළුවන් ප්‍රවේශ පහසුකම් සහිතයි කියලා කියන්න. ඒක (ප්‍රවේශ පහසුකම්) අත්පත් කරගන්න අපි යෝජනා කරනවා Disability Inclusion Budget Line එකක්. ඒකෙන් අදහස් කරන්නේ අපි හිතමු උදාහරණයක් විදියට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අයවැය තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකිරීම් පැත්තෙන් මේ ප්‍රවේශයන් සඳහාම නිශ්චිත කරපු අයවැයක් එන්න ඕන. ඒක අපේ යෝජනාවක්. එහෙම නොවුනොත් මේක කෙරෙන් නැතුව ප්‍රමුඛතා ගත වෙනවනේ. අපි රජයක් විදියට, ආබාධිත ප්‍රජාවේ නියෝජනයක් විදියට මේ ප්‍රවේශය තහවුරු කරන්න මගේ මැදිහත් වීම බරපතල විදියට කෙරෙනවා. 2006 ගැසට්ටුව යාවත්කාලින කෙරෙන වැඩපිළිවෙක් ද මේ වෙද්දී සිද්ධ කෙරෙනවා."  

ප්‍රවේශය රොකට් සයන්ස් නෙවෙයි  

kesbewa-ty.jpg

ප්‍රවේශ මාර්ගයට බාධා වනසේ මල් පෝච්චි තැබීම - ප්‍රවේශය අපහසු කරන පඩිපෙළ    
ප්‍රවේශය තහවුරු කර නොමැති ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඒ සඳහාම වෙන්වූ ආයතනයක අවශ්‍යතාව ශ්‍රී ලංකා ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලි පතිරගේ පෙන්වා දෙන්නී ය.

"ප්‍රවේශය විවිධ අයට විවිධ විදියට අවශ්‍ය වෙනවා. හැබැයි ඒක හදන්න බැරි දෙයක් වත් රොකට් සයන්ස් වත් නෙවෙයි. ඒකට සැලසුම් අදියරේ ඉදන් ක්‍රියාවට නංවන තෙක් අපේ සහභාගිත්වය ලබා ගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. අපි ඉල්ලන ස්වාධින කොමිෂන් සභාව ආවොත් අපිට වඩා පහසු වෙයි ඔය ප්‍රවේශය නැති තැන්වල ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ආයතනයක් අනිවාර්යෙන් තිබිය යුතුයි අධික්ෂණය කරන්න."

ආබාධිත ප්‍රජාව හුදෙක් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ආබාධ පිළිගනිමින් ඔවුන් සාමාන්‍ය පුරවැසියන් ලෙස සැලකීම ප්‍රමාණවත් බවට ය. ආත්ම ගෞරවයෙන් සහ අභිමානයෙන් පූර්ණ ජීවිතයක් ගත කිරීමට සිය මූලික ප්‍රවේශ අවශ්‍යතා තහවුරු කරන ලෙස ඔවුහු උදක්ම ඉල්ලා සිටිති.    

"අපිට ඕන ආධාර නෙවෙයි. අපි ඉල්ලන්නේ අපේ අයිතිවාසිකම. අපේ ප්‍රවේශය හදලා දෙන්න කියලා. එතකොට අපි ස්වාධින වෙනවා." යැයි කමල් අවසානයේ අප සමඟ පැවසුවේ ය.  

සටහන සහ ඡායා : අභිෂේකා වාසල බණ්ඩාර