කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු බහාලුම් දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරායේ CICT පර්යන්තයේ ඇති බවට 2026 අගෝස්තු 14 වැනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙත තොරතුරක් ලැබී ඇති බවයි.

එම තොරතුර එදිනම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට දැනුම් දී තිබුණද, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මට්ටමින් ක්‍රියා නොකිරීම සහ රාජකාරි පැහැර හැරීමක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම විමර්ශනය මෙතෙක් අවසන් කර නොමැති අතර, මේ දක්වා සිදුකළ විමර්ශන මත පදනම්ව අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එම අතුරු වාර්තාව අනුව අදාළ තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී නිලධාරීන් කිහිපදෙනෙකු රාජකාරිය පැහැර හැර ඇති බවට සහ නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයට අමතරව අපරාධ විමර්ශනයක්ද සිදුකිරීම සුදුසු බවට නිර්දේශ කර ඇත.

මේ අතර, මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරියෙකුටද ඔහුගේ පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් 2026 අගෝස්තු 22 වැනිදා තොරතුරක් ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ නිලධාරියා විසින් අවශ්‍ය පියවර ගෙන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් 2026 අගෝස්තු 31 වැනිදා කොළඹ වරායට ගොස් රේගු නිලධාරීන් සමඟ අදාළ බහාලුම පරීක්ෂා කිරීම සඳහා ස්කෑන් කිරීමක්ද සිදුකර තිබේ. ඉන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුද එම ස්ථානයට පැමිණ ඇති බව සඳහන් වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමේ මූලික කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

අදාළ තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී සිදුවූ බවට අනාවරණය වී ඇති රාජකාරි පැහැර හැරීම් සහ නොසැලකිලිමත් ක්‍රියා කිසියම් පාර්ශ්වයකට වාසිදායක තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදුකර ඇත්ද යන්න මෙන්ම එම ක්‍රියා සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින්නේද යන්න තහවුරු කරගැනීම සඳහා CID විමර්ශනය සිදුකරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.