2027 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.

ඊට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 07 වැනිදා සිදුකිරීමට නියමිතය.

පසුගිය 25 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අයවැය කාලසටහන සඳහා අනුමැතිය ලබාදී තිබේ.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය දෙවැනිවර කියවීම ලෙස සැලකෙන අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කර දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිත අතර, අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සඳහන් කළාය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.