"අද අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා ඔන්න දැන් ජනාධිපතිවරයාත් රැස්වීම් තියෙනවා. ජනාධිපතිතුමාව කොලඹ හතේ ඒසී කාමරයේ ඉඳලා මහපාරට බස්සලා ජනතාව අතරට යවා අපට හැකිවෙලා තියෙනවා." යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

"රටේ අධිකරණ ඇමතිවරයාට කියන්න පුළුවන් නම් ජනමත විචාරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්, 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යන්නේ නෑ කියලා. රටේ අධිකරණ ඇමතිවරයා පූර්ව නිගමනවලට ඇවිල්ලා කලින් නඩු තීන්දු ප්‍රකාශ කරනවා නම්, ඒ වගේම ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනයි ජනාධිපතිවරයයි, "25 වෙනි වෙනකන් බලන්නකෝ කවුද හිරේ යන්නේ කියලා අත්පොඩි ගහන්න ලෑස්ති වෙන්න, රතිඤ්ඤා පත්තු කරන්න" කියනකොට…

​පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු, මන්ත්‍රීවරු "අහවලාට වෙන දේ බලන්න, අහවලාට වෙන දේ බලන්න" කියලා නඩු තීන්දු කලින් ප්‍රකාශයට පත් කරනකොට ඉතින් සමාජ මාධ්‍ය තුළ ඒ පණිවිඩය අරගෙන යනවා.මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක්.​ඉතින් අද නීතිඥ සංගමය හෝ වේවා, මේ රටේ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරු හෝ වේවා, ගරුතර මහා සංඝරත්නය, කතෝලික සභාව, මේ හැම කෙනෙක්ම මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ ඔය නිසා.
​ඉතින් අද මේ ආණ්ඩුව මේ අරගෙන යන වැඩපිළිවෙලත් එක්ක පැහැදිලිවම අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වෙන බව තහවුරුයි.

​ජනාධිපති ලේකම්වරයා කන්ටේනර් පන්නලා තියෙනවා. ඒ වාර්තාවල වැරදිකරු වෙලා තියෙනවා. හරියටම කන්ටේනර් 323 ක් වරායෙන් පන්නලා තියෙනවා. හරියටම බාල ගල්අඟුරු ගෙනැල්ලා තියෙනවා. හරියටම හැකර් කෙනෙක් පැනලා සල්ලි ටිකත් අරන් ගිහිල්ලා තියෙනවා.


​ඒවා හරියට කරනවා! හැබැයි ඉතින් හරියට වෙලාවට පොහොර ටික දීගන්න බෑ. වී මිලදී ගන්න බෑ. ධීවරයාගේ තෙල් සහනය දෙන්න බෑ. වෙලාවට උපාධිධාරියාගේ රක්ෂාව දෙන්න වැඩපිළිවෙලක් හදාගන්න බෑ. රටේ මෙතෙක් කල් පැවැතිගෙන ආපු කර්මාන්තශාලා වැහෙන්න යනකොට ඒවා ආරක්ෂා කරගන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ.


​අනවශ්‍ය දේවල් සියල්ලම ආණ්ඩුව හරියට කරනවා! හොරකම් ටිකත් හරියට කරනවා. හැබැයි රටේ ජනතාවට තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීපු ඒවා හරියට කරගන්න බැරි එක තමයි ප්‍රශ්නයකට තියෙන්නේ.


​ඉතින් හොරකම් ටිකයි, වංචා ටිකයි, හැක් කරලා දාලා පන්නන ඒවායි, කන්ටේනර් පන්නන ඒවායි, බාල ගල්අඟුරුයි ආණ්ඩුව හරියටම කරනවා.

​මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ ගහපු ගැහිල්ල කෙසේ වෙතත්, මේ පරීක්ෂණ වාර්තා දිහා බැලුවාම, විශේෂයෙන්ම ඔය පාර්ලිමේන්තුවේ තෙල් සම්බන්ධයෙන් තියෙන වාර්තාව දිහා බැලුවාම, ඒකේ සමහර නිලධාරීන්ව අයින් කරලා තමයි පරීක්ෂණය කරලා තියෙන්නේ. සමහර නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් කරලා නෑ. ඇයි තෝරාගත්තු පිරිසක් සම්බන්ධයෙන් විතරක් වාර්තාවක් හැදුවේ? ඒ ප්‍රශ්නය තියෙනවා.


​ඒ එක්කම ඉතින් ඒකට හේතුව වෙන්න පුළුවන් කතානායකවරයාටත් අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැමිණිල්ලක් දාලා තියෙනවනේ. ඉතින් ඒ හින්දා සමහර විට පාර්ලිමේන්තුවේ ඉඳලා ඒ ඉහළ නිලතලවලට පත් කරපු අයව අයින් කරලා, අනිත් අය ගැන පරීක්ෂණ කරාද කියන්න අපි දන්නේ නෑ. ඒකත් දන්නේ නෑ ආණ්ඩුවේ බලාපොරොත්තුව.


​හැබැයි ඉතින් පැහැදිලිවම මේ වාර්තාව දිහා බලපු බැල්මට.ඒ පිළිබඳව තව අපි අධ්‍යයනය කරනවා, දීර්ඝ වශයෙන් අපි අධ්‍යයනය කරනවා—හැබැයි බලපු බැල්මට තෝරාගත්තු පිරිසක් ඉලක්ක කරගෙන කරපු වාර්තාවක් බව සනාථ වෙලා තියෙනවා.

​ඒ සියල්ලටම උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ හරියට ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සහ හරියට පරීක්ෂණයක් කරොත්. හැබැයි තෝරාගත්තු පිරිසක් සම්බන්ධයෙන් වාර්තාවක් හදලා, ඒ පිරිස ඉලක්ක කරගෙන වාර්තාව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් ඉතින් ඕකට පැහැදිලි උත්තරයක් ලැබෙන්නේ නෑ.

වර්තමාන ආණ්ඩුවේ තොරතුරු වර්තමාන ආණ්ඩුවෙන්ම එළියට දෙනවා. ඒක අපි ආයේ අමුතුවෙන් හොයන දෙයක් නෑ. හැබැයි ඉතින් වර්තමාන ආණ්ඩුවේ කතානායකවරයා පිළිබඳවත් ඉතින් ලොකු කතිකාවතක් තියෙනවනේ. ඉතින් ඒක එතුමාගේ පෞද්ගලික කාරණා. හැබැයි ඉතින් අපි අවධානයෙන් ඉන්නවා.


​ඉතින් ඒ හින්දා මේ එක්කෙනෙක් දෙන්නෙක් තමන්ට හිතවත් එක්කෙනෙක් දෙන්නෙක් පරීක්ෂණ වාර්තාවලින් අයින් කරලා, පුද්ගලයෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉලක්ක කරගෙන වාර්තා හදලා සාධාරණයක් ඉෂ්ට වුණා කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා. ඉතින් මේ ආණ්ඩුව ඔය 22 වෙනි සංශෝධනය ගේන්නෙත් හරියටම කරන්න උත්සාහ කරන්නෙත් අර හරියටම කරපු හොරකම් ටික වහගන්න. මොකද ඊළඟට නඩුව වැටෙන්නේ ඒවාටනේ.


​දැන් කතානායකවරයාටත් පැමිණිල්ලක් තියෙනවා අල්ලස් හෝ දූෂණ කොමිසමේ. ඒ වගේම මේ හුඟක් අයට පැමිණිලි තියෙනවා. සමහරු වරෙන්තු වුණාම උසාවි යන්නෙත් නෑ. සමහරු ඔය මහ ලොකුවට අධිකරණය ගැන සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව, පොලිසිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, හොරු අල්ලන එක ගැන කතා කරන අය තමන්ට වරෙන්තු වුණාම උසාවියට යන්නෙත් නෑ. අඩු ගානේ අධිකරණයට ගරු කරලා උසාවියට යන්න තරම්වත් නියතමානී නෑ උන්.


​ඉතින් ඒ හින්දා ඔය 22 වෙනි සංශෝධනයට ඔච්චර මහන්සි වෙන්නේ ඒ අය බේරෙන්න මිසක් හෙට ජනතාවගේ ප්‍රශ්නයක් විසඳන්න නෙවෙයි.

​මේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව මීට පෙරත් කතිකාවතක් ගොඩනැඟුණා. රජයේ ආයතනවලට මීට පෙර සූදානම් වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් පහුගිය හැම රජයකින්ම සූදානම් වෙලා තිබ්බා. ඒක මේ රටේ, ලෝකයේ මේ වසර තුළ එල්නිනෝ තත්ත්වයක් එනවා කියන කාරණය පිළිබඳව නිරන්තරයෙන් ලෑස්ති වුණා


​හැබැයි ඉතින් අවාසනාවකට මේ ආණ්ඩුව අර දිට්ඨවා සුළි කුණාටුව එනවා කියලා දැන දැනත් මඟහැරියා වගේ, බන්ධනාගාරය ඇතුලේ සිදුවීමක් සිද්ධ වෙන්න නියමිතයි කියලා දැන බුද්ධි අංශ වාර්තා ලැබිලා තියෙද්දිත් නිලධාරීන් 10 දෙනෙක් සහ රැඳවියන් 20 ක් විතර මැරෙනකම් බලන් හිටියා වගේ, එල්නිනෝ තත්ත්වයක් ඇතිවෙනවා කියන මතය ලෝකයේ ක්‍රියාත්මක වෙලා ලෝකයේ හැම රටක්ම මේකට සූදානම් වෙද්දි, අපි අඩුම ගානේ ගොවියාට වතුර ටික ලැබිච්ච වෙලාවේ වගා කරගන්න පොහොර ටික දුන්නෙත් නෑ.
​වතුර ටික ලැබිච්ච වෙලාවේ වගා කරගන්න. දැන් ඉතින් වතුර හිඟයක් ආවාට පස්සේ වගාවට කෙඳිරි ගාලා හරියන්නේ නෑ. ඉතින් පැහැදිලිවම අර දිට්ඨවා සුළි කුණාටුව ආපු වෙලාවේ ආණ්ඩුව මඟහැර ගත්තා වගේ, ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණා නම් ජීවිත ගණනාවක් බේරගන්න තිබ්බා. ජීවිත ගණනාවක්! බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් දැනගන්න ලැබුණාම ඒ ගැන මඟහැරියා වගේ, නිලධාරීන් 10 දෙනා ඇතුළු ජීවිත ගණනාවක් බේරගන්න, රැඳවියන්ගේ ජීවිත බේරගන්න තිබ්බා.


​අද එල්නිනෝ තත්ත්වය පිළිබඳව සඳහන් වෙලා තියෙද්දිත් ආණ්ඩුව ඒ කාරණය මඟහැරලා ඉදලා, දැන් කියනවා මේකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා කෙඳිරි ගානවා. ඉතින් ඒක සාධාරණ නෑ. මොකද රජයක් වුණාම මේ හැම කාරණයක් සම්බන්ධයෙන්ම පෙර සූදානමක් තියෙන්න ඕනේ.

​මට වගකීමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නත්, ගමේ දේශපාලනය කරන්නත්, මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක බැඳිච්ච ගමේ පාක්ෂිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒකට නායකත්වය දෙන්න මට වගකීමක් තියෙනවා.

​වැඩේ වෙන පැත්තකින් වෙනවාද, මගේ පැත්තෙන් වෙනවාද කියන කාරණය කෙසේ වෙතත්, අද අපි ගමට බැස්සාම ජනාධිපතිවරයාටත් ගමට බහින්න සිද්ධ වෙලා තියෙනවා. ඔන්න දැන් ජනාධිපතිතුමාත් රැස්වීම් තියෙනවා.


​ඉතින් ජනාධිපතිවරයාව කොළඹ 7 AC කාමරේ ඉඳලා මහ පාරට බස්සලා ජනතාව අතරට යවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. අන්න ඒක තමයි අපි විපක්ෂයක් විදියට ලබපු පළවෙනි ජයග්‍රහණය.


​ඉතින් ඒ හින්දා ජනාධිපතිවරයා ඒ රැස්වීම් මාලාව යනවා වගේම, තමන්ගේ කතාව කියලා අර නීතිඥ සංගමයට කරා වගේ තමන්ගේ කතාව කියලා ගෙදර යන්නේ නැතුව ජනාධිපතිතුමා, ජනතාවගේ ගැටලුත් අහලා ඒවට විසඳුම් ලබාදෙන්න කටයුතු කරන්න ඕනේ. අපි ඒ තැනටත් ජනාධිපතිතුමාව තල්ලු කරනවා.

මං හිතන්නේ අනිත් අය කරනවාද නැද්ද කියලා හොයන එක නෙවෙයිනේ මගේ වගකීම. මම වැඩේ කරන එක.
​ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ පොඩි කෑල්ලක් වුණත්, ජනතාවගේ හදවතේ ලොකු කෑල්ල නාමල්.

​ටිකට් එක කැපෙන්න මම ටිකට් ගත්තේ නෑනේ. ටිකට් ගත්තොත්නේ කැපෙන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා මට කාගෙවත් ටිකට් කපන්න ඕනෙත් නෑ. මං ටිකට් ගන්න යන්නෙත් නෑ.


​මම මේ රටේ ජනතාව එක්ක අපේ දේශපාලනය අපි කරනවා. ඉතින් ඒ හින්දා අද ජනාධිපතිවරයාටත් සිද්ධ වෙලා තියෙනවා ගමට බැහැලා, සඳලුතලයෙන් බැහැලා දේශපාලනය කරන්න පටන් ගන්න. ඉතින් බොහොම හොඳයි ජනාධිපතිතුමනි, හැබැයි ඒ රැස්වීමත් අර නීතිඥ සංගමයේ වාඩි කරගෙන තමන්ගේ කතාව කියලා ගෙදර ගියා වගේ වෙන්නේ නැතුව ජනාධිපතිතුමා, ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා විසඳුම් දෙන්න.


​මොකද ඊළඟට අපි ඔබතුමාව... සඳලුතලයෙන් බැස්සුවා, ඊළඟට බලාගමු."

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.