වෙනත් රටක ස්ථිර පදිංචිය ලබා ගත නොහැකිව ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා ජාතිකයන් ඇතුළු අනිකුත් සරණාගතයන්ට "පුරවැසි භාවය හෝ ස්ථිර වාසස්ථාන" සඳහා අනුමැතිය ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස, මෙරට වෙසෙන රොහින්ග්‍යා සරණාගතයෙක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරය අමතමින් රොහින්ග්‍යා සරණාගත මොහොමඩ් අන්වර් ශ්‍රී ලංකාවේ රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින් නිදහස් කරන ලෙසට ද සෘජු ඉල්ලීමක් කර ඇත.

එසේම, නිදහස ලබාදෙන තෙක්, ළමුන් ඇතුළු රෝහින්ග්‍යා ජාතිකයින්ට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR), නීතිඥයින්, මාධ්‍යවේදීන් සහ මානුෂීය සංවිධාන වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදෙන ලෙස ද ඉල්ලා තිබේ.

"මගේ නම මොහොමඩ් අන්වර්. මම ශ්‍රී ලංකාවේ ජීවත් වන රෝහින්ග්‍යා සරණාගතයෙකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ මියන්මාරය සම්බන්ධ ස්වාධීන විමර්ශන යාන්ත්‍රණය විසින් නිකුත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරමි.

2022 දෙසැම්බර් මාසයේදී යාපනයට ඔබ්බෙන් මුහුදේදී රෝහින්ග්‍යා ජාතිකයින් 105 දෙනෙකු පමණ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගැනීම අපි අගය කරන අතර, පානදුර අවට පදිංචිව සිටින සියලුම රෝහින්ග්‍යා සරණාගතයින් සඳහා ජීවනෝපාය, නිවාස, ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

2024 දෙසැම්බර් මාසයේදී ඉතා දුෂ්කර මුහුදු ගමනකින් පසු රෝහින්ග්‍යා ජාතිකයින් 116 දෙනෙකු පමණ, ළමුන් 57 දෙනෙකුද ඇතුළුව, ශ්‍රී ලංකාවට පැමිණියහ. එම මුහුදු ගමනේදී බෝට්ටු දෙකක් මුහුදුබත් වී පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි. ඔවුන් මුහුණ දුන් දුක් වේදනා, ප්‍රචණ්ඩත්වය, අවතැන්වීම සහ බිය හේතුවෙන් ඔවුන් සරණාගතයින් බවට පැහැදිලි සාක්ෂි තිබියදීත්, මෙම පිරිස මාස 20කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රඳවා තබා ඇති අතර, මානුෂීය ආධාර සඳහාද ඔවුන්ට ඇත්තේ ඉතා සීමිත ප්‍රවේශයකි.

එබැවින්, ඔවුන් නිදහස් කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (UNHCR), නීතිඥයින්ට, මානුෂීය සංවිධානවලට සහ මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවකින් තොරව ඔවුන් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදෙන ලෙසත් අපි ඉල්ලා සිටිමු. එමෙන්ම සරණාගතයින් ‘නීතිවිරෝධී සංක්‍රමණිකයින්’ ලෙස හඳුන්වනු නොලබන බවටද සහතික කරන ලෙස ඉල්ලා සිටිමු.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කරුණු සෙවීමේ මෙහෙයුම පෙන්වා දී ඇත්තේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුව ඇති බවත්, තවදුරටත් මියන්මාරයේ රැඳී සිටින රෝහින්ග්‍යා ජනතාව ජන සංහාරයක තර්ජනයට මුහුණ දෙමින් සිටින බවත්ය. අපි රෝහින්ග්‍යා ජාතිකයින් වන අතර, රටක් නොමැති ජනතාවකි.

ඒ අනුව, වෙනත් කිසිදු රටක නැවත පදිංචි කිරීමට නොහැකි ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යා සහ අනෙකුත් සරණාගතයින් සඳහා පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

අපට සහය දක්වන ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව සිදුකරන හිරිහැර කිරීම්, නිරීක්ෂණ සහ සීමා පැනවීම් වහාම අවසන් කරන ලෙසද අපි ඉල්ලා සිටිමු."

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.