මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය අනුව පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව, විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනී යන බැවින් රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය, වැළැක්වීම, පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලුම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය මෙම උපදෙස් මාලාව තුළ පෙන්වා දෙයි.

එමෙන් ම උණ, හිසරදය සහ වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, මෙනින්ජිටිස් රෝගී තත්ත්වයන් දින 7ක් ඇතුළත සුව අතට පත්වන බව ද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.

පවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් (මල-මුඛ මාර්ගයෙන්) මෙන්ම, රෝගියෙකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිදිති (Droplets) මගින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා රෝගය බෝ විය හැකි බවත්, වෛරසයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු වන බව ද එම වාර්තාවේ සඳහන් ය.

රෝග පාලනය සහ වැළැක්වීමේ පියවර ලෙස සබන් සහ ජලය යොදා දෑත් හොඳින් සේදීම. කැස්ස හෝ කිවිසීමේදී වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ලේන්සුවකින්/ටීෂු එකකින් මුඛය සහ නාසය වැසීම, රෝග ලක්ෂණ ඇති අය සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම, නිවෙස් සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම යන කරුණු වසංගත රෝග විද්‍යාඅංශය මගින් නිකුත් කළ මාර්ගෝපදේශණ මාලාවෙන්  වැඩිදුරටත් පෙන්වා දෙයි.

එම විශේෂ මාර්ගෝපදේශණ මාලාවට රෝග ලක්ෂණ (සැකකටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ආකාරය සහ රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ රෝග විනිශ්චය, රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර, පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ, සායනික කළමනාකරණය, ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර, උත්සව සහ ප්‍රජා රැස්වීම් මාර්ගෝපදේශ ආදී කරුණු ඇතුළත් වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන ලද උපදෙස් හා මඟපෙන්වීම් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ (Chief Epidemiologist) විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම උපදෙස් මාලාව සකස් කර ඇත.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.