ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ප්‍රදේශයට එවන බවද සඳහන් කළේය.

ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට කඩිනම් තාවකාලික පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් මෙතෙක් සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

මේ අතර දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර සැලසුම් කර ඇති සියලු මාර්ගවල ඉදිකිරීම් මේ වසරේදීම ආරම්භ කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු, වනජීවි කලාපයන්ට අයත් වගා බිම් සම්බන්ධ මතුව ඇති ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර මයිලත්තමඩු- මාදවනෙයි තෘණ භූමියට අදාළ කිරි ගොවීන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීම පිළිබඳවද අවධානය යොමු විය.

නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වන වාලච්චේන වරාය පූර්ණ ලෙස සංවර්ධනයට ගෙන ඇති පියවර සහ ඒ සඳහා ප්‍රදීපාගාරයක අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා වූ පෙර සූදානම සහ අලි මිනිස් ගැටුම අවම කර ගැනීමට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ මතුව ඇති ගැටලු පිළිබඳවත් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ වගා බිම් සඳහා වන්දි ගෙවීමේ වැඩසටහනේ ප්‍රගතිය, නිවාස හානි සඳහා වන්දි ගෙවීම් සහ නව නිවාස ඉදිකිරීමේ වැඩසහනේ ප්‍රගතියද විමසූ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.

මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන අන්දම සහ එහි ප්‍රගතිය මෙන්ම මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කන්දසාමි ප්‍රභූ, එස්. රාසමානික්‍යම්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ජී. ශ්‍රීනේෂන්, ඉලෙයිතම්බි ශ්‍රීනාත් ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මඩකළපුව දිස්ත්‍රික් ලේකම් අරුල් රාජ් සහ රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.