පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ විශේෂ වැටලීමකදී, යාපනය පලාලි පාරේ කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනයක් Full Blood Count (FBC) රුධිර පරීක්ෂණයක් සඳහා නියමිත රුපියල් 400ක උපරිම ගාස්තුව වෙනුවට රුපියල් 550ක් අය කර ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව, අදාළ ආයතනයට එරෙහිව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර, චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු අධිකරණය විසින් එම ආයතනයට රුපියල් මිලියන 3ක (ලක්ෂ 30ක) දඩයක් නියම කර තිබේ.

මීට අමතරව, සිදු කළ වරද සම්බන්ධයෙන් එම ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පෞද්ගලික රෝහල් හෝ වෛද්‍ය රසායනාගාරවලින් සේවාවන් ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, ගෙවන සෑම මුදලක් සඳහාම නිසි බිල්පතක් හෝ රිසිට්පතක් ලබාගන්නා ලෙසත්ය.

නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කරන අවස්ථා පිළිබඳ පැමිණිලි කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කළ හැකි බවද එම අධිකාරිය දැනුම් දෙයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.