විදේශ රටවල සැඟව සිටින ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් හරහා රතු නිවේදන නිකුත් කර තිබේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (13) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මේ බව අනාවරණය කළේය.

ඔහු සඳහන් කළේ 2024 සහ 2025 වසරවලදී මෙන්ම මේ වසරේ ගත වූ කාලය තුළද රතු නිවේදන හරහා සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවයි.

මීට අමතරව, පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම යටතේ තවත් ප්‍රමුඛ පෙළේ අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර, මෙරටට ගෙන්වා ගත් සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් බවට සැලකෙන වාහන, නිවාස, රන් භාණ්ඩ සහ ඉඩම් ඇතුළු දේපොළ රාජසන්තක කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, 2024 වසරේදී රුපියල් මිලියන 1,490ක් වටිනා දේපොළ සහ 2025 වසරේදී රුපියල් මිලියන 1,549ක් වටිනා දේපොළ සම්බන්ධයෙන් රජයට පවරා ගැනීමේ මූලික පියවර ලෙස ඒවා අක්‍රිය කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම, 2026 ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා රුපියල් මිලියන 839ක් පමණ වටිනා නීති විරෝධී දේපොළ රජයට පවරා ගැනීම සඳහා අවශ්‍ය මූලික නීතිමය ක්‍රියාමාර්ග මේ වනවිට ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.