ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළහැකි බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දීය නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදුන් බවට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකවරයා මෙම අදහස් පලකර තිබේ.

එමෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ධීවරයින්ගේ ජීවනෝපාය සම්බන්ධ ගැටළු සඳහා මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත්, කිසිදු තත්ත්වයක් යටතේ බලය යෙදවීම නොකළ යුතු බවට නිරන්තරයෙන් ඉන්දියාව පවසන කරුණක් බවය.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකා රජය සමඟ දිගටම කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය 29 වනදා මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පහරදීමක් සිදුකළ බවට සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය චෝදනා කළේය.

එහි සභාපති ටිරෝන් මෙන්ඩිස් පවසන්නේ ඉදිරියේදීත් මෙවැනි පහරදීම් සිදුවුවහොත් ධීවරයින්ට සිය රැකියා අත්හැර දැමීමට සිදුවනු ඇති බවය.

මෙම පහරදීමට ලක්ව තිබුනේ පසුගිය 29වනදා වෙන්නප්පුව වෙල්ලමංකරය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක ධීවරයින් 12 දෙනෙකුටය.

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුවු බව ධීවරයින් චෝදනා කරයි.

පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයේ සිටි ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාවේ යාත්‍රාවක් විසින් මෙරටට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා යොමුකර තිබුණි. 

adaderana.lk

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.