අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.

මෙම සොයාගැනීමත් සමඟ ලොව පුරා රජයන් සහ සයිබර් ආරක්ෂක ආයතන අදාළ අවදානම් පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර, බලපෑමට ලක්විය හැකි වෙබ් අඩවිවලට කඩිනම් ආරක්ෂක යාවත්කාලීන ස්ථාපනය කරන ලෙස දැනුම් දී තිබේ. ඇතැම් වෙබ් අඩවිවලට අවදානම පාලනය කරගත නොහැකි නම් ඒවා තාවකාලිකව අක්‍රිය කිරීම පිළිබඳව ද සලකා බලන ලෙස උපදෙස් දී ඇත.

අන්තර්ජාල ආරක්ෂක සමාගමක් වන Wiz හි පර්යේෂකයන් මෙම දුර්වලතා හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා OpenAI තාක්ෂණය ද භාවිත කර තිබේ. Wiz සමාගම පවසන්නේ කෘත්‍රිම බුද්ධිය මඟින් මෙතෙක් හඳුනාගත් බරපතළම ආරක්ෂක දුර්වලතා අතරට මෙම දුර්වලතා ඇතුළත් වන බවයි.

PHP යනු අන්තර්ජාල වෙළෙඳසල්, විකිපීඩියා සහ බොහෝ වෙබ් අඩවි නිර්මාණය කිරීමට භාවිත කරන WordPress වැනි පද්ධතිවලට ද සහාය වන පරිගණක භාෂාවකි. එහි පවතින දුර්වලතා හේතුවෙන් ප්‍රහාරකයන්ට ඇතැම් වෙබ් සේවාදායක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී ඒවා පාලනය කිරීමට සහ සංවේදී දත්ත සොරා ගැනීමට හැකියාව ලැබිය හැකි බව සයිබර් ආරක්ෂක විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙම දුර්වලතා ලොව පුරා වෙබ් අඩවි මිලියන ගණනකට බලපෑ හැකි බවට ද අනතුරු අඟවා ඇති අතර, කෘත්‍රිම බුද්ධිය මඟින් එවැනි සයිබර් ප්‍රහාර වඩාත් වේගවත් හා පහසු විය හැකි බව විශේෂඥයෝ සඳහන් කරති. හැකර් කණ්ඩායම් හෝ රටවල් මෙම දුර්වලතා අයුතු ලෙස භාවිත කර පෞද්ගලික දත්ත අත්පත් කරගතහොත් එය බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.