වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් වන අතර, මරණ 32 දක්වා ඉහළ ‌ගොස් ඇත.

මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,024ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර පැවසීය.

ජූනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,565ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් හමුවූ බවද වෛද්‍යවරයා කියා සිටියේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,392ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,006ක් රෝගීන් වාර්තා වී තිබේ.

තවමත් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමට ජනතාව සම්පූර්ණයෙන්ම කටයුතු නොකිරීම මෙයට මුලික හේතුව බවද සඳහන් කර සිටි වෛද්‍යවරයා, ඉදිරියේ දී රෝගීන් ප්‍රමාණය අවම කරගැනීමට නම් මදුරුවන් බෝවන ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතු බවද අවධාරණය කළේය.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.