ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තරගකාරීත්ව ප්‍රවර්ධන අංශයේ නිලධාරීන් විසින්

ව්‍යාජ ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය (SLS Mark) යොදා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.

ඒ 21 වන සිකුරාදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ය.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පානීය ජලය අමිතිරිගල, රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක ගබඩා කර තිබූ බවයි.

එම ගබඩාව පරීක්ෂා කිරීමේදී මිලිලීටර් 500 සිට ලීටර් 19 දක්වා විවිධ ප්‍රමාණවලින් යුත් පානීය ජල බෝතල්වල ව්‍යාජ ලෙස SLS ප්‍රමිති ලාංඡනය සහ සහතික අංක 894 සඳහන් කර තිබූ බව නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම පානීය ජල බෝතල් තොගය ඒ වන විට වෙළෙඳපොළට නිකුත් කර නොතිබූ අතර, වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර තිබූ තොගයක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බෝතල් 8,500කට ආසන්න ප්‍රමාණය නිලධාරීන් විසින් මුද්‍රා තබා සිය භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන අවසන් කිරීමෙන් පසු වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මෙවැනි ව්‍යාජ ප්‍රමිති ලාංඡන සහිත හෝ සැක සහිත භාණ්ඩ නිෂ්පාදනය, ගබඩා කිරීම හෝ අලෙවිය සම්බන්ධ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන මෙන ඔවුන් ඉල්ලා සිටියි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.