ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අද (1) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී අනිල් ජයන්ත පෙන්වා දුන්නේ රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් කණ්ඩායම් කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා අද (1) විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින්නේ කිසියම් කණ්ඩායමක් පමණක් බවත් සාමාන්‍ය විදිහටම රටේ බේදාහැරීම් කටයුතු සිදු වෙමින් පවතින බවත් ය.
"අද වෙනකොට මුදල් ගෙවා CPC එකෙන් ඇණවුම්කරලා තියෙනවා ලෝඩ් 1696ක්. ඒ වගේම IOC එකෙන් 471ක්, Sinopec එකෙන් 391ක්, RM Park එකෙන් 366ක්. ඒ කියන්නේ 2924ක් අද දවසේ මුදල් ගෙවලා සාමාන්‍ය පරිදිම බෙදාහරිමින් පවතිනවා.
කොළොන්නාවට ඇවිල්ලා තිබුණා බවුසර් 140ක් පමණ. ඉන් 60කට අධික ප්‍රමාණයක් පිටවෙලා තියෙනවා. සාමාන්‍ය විදිහටම රටේ බේදාහැරීම් කටයුතු සිද්ධ වෙනවා.
කණ්ඩායමක් විතරයි මේ සිද්ධියට සම්බන්ධ. එයාලා කිව්වේ ඊයේ (28) රාත්‍රියේ සිට තෙල් ඇණවුම් කරන්නේ නෑ කියලා. නමුත් අද උදේ 7 වෙනකොට ඒ අය ඇණවුම් කළ ප්‍රමාණය.
මේකත් එක්ක ගත්තාම රටේ ගැටළුවක් ඇතිවෙන්න කිසිම හේතුවක් නෑ. රටේ ජනතාව කලබලවෙන්න කිසිම හේතුවක් නෑ"
ඉන්ධන පෝලිම් ඇතිවෙන්න හේතුව

ඉන්ධන බෙදුම්කරුවන්ට හිමිවූ 3%ක වට්ටම් මුදල අහෝසි කර, අද (1) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ඉන්ධන බෙදුම්කරුවන් තීරණය කර තිබුණි.
මේ බව නිවේදනය කිරීමෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ රැසක අද උදෑසනත් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබුණි.
ඉන්ධන බෙදුම්කරුවන් ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක ඊයේ (28) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මෙසේ අදහස් පළ කළේ ය.

"අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි ගාව තියෙන තෙල් විතරයි විකුණන්නේ ආපහු ඕඩර් කිරීමක් කරන්නේ නැහැ. යම් කිසි විදිහකින් ඛණිජ තෙල් සංස්ථාව හෝ වෙනත් සමාගමක් තෙල් ලබා දුන්නොත් අපි විකුණනවා. නිකන් ලැබෙන තෙල් ඕන තරම් විකුණනවා. අපිට සල්ලි දීලා මේ මිලට තෙල් අරන් විකුණන්න පුළුවන් කමක් නෑ."
"ඒ වගේම තමයි ජනාධිපති කාර්යාලයේ සිට සියලුම රාජ්‍ය තන්ත්රයට අපි තෙල් ලබා දෙනවා ක්‍රෙඩිට් ෆැසිලිටි එක යටතේ. මේවා ලබා දෙන්නේ රජයෙන් නෙමේ බෙදුම්කරුවන්ගේ සල්ලිවලින්. ඒ නිසා අපි හෙට උදේ ඉඳලා කිසිම රාජ්‍ය ආයතනයකට ක්‍රෙඩිට් එකට තෙල් ලබා දීම කරන්නේ නෑ සල්ලි ගෙනත් දුන්නොත් විතරයි තෙල් දෙන්නේ."
කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා කියා සිටින්නේ ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව යි.
"පළවෙනි ලෝඩ් 15ට 6.96ක් දෙනවා. ඊළඟ ලෝඩ් 15ට 6.62යි. දැන් එයාලා කියන්නේ ලෝඩ් 25ක් විතර කරන අයලු වැඩිපුර ඉන්නේ. ඒ අයට දැනටත් ආදායම ලැබෙන්නේ ලක්ෂ 10ක් විතරලු. එකෙන් වැටුප් ගෙව්වට පස්සේ දැනුත් ජීවත්වෙන්න බෑ කියලා.
අපි හඳුන්වාදෙන එකේ හැටියට ලෝඩ් 25ක් කරන කෙනෙක්ට 6.69ක් ලැබෙනවා. එතකොට එකොළොස් ලක්ෂ 3,850ක් ලැබෙනවා".
පෝලිම් යුගයක් ගැන කියලා මිනිස්සු කලබල කරන්න ගත් උත්සහයක්

මේ සම්බන්ධයන් අදහස් දැක්වූ කම්කරු හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අවධාරණය කරන්නේ මෙය කිසියම් කණ්ඩායමක් විසින් ජනතාව කලබල කිරීමේ වුවමනාවෙන් සිදුකළ දෙයක් බව යි.
”පහුගිය දවස දෙක තුනේම බෙදුම්කරුවෝ නිසි පරිදි ඇනවුම් කරලා තියෙනවා. සාමන්‍යයෙන් දවසකට ඇනවුම් 1100ක් 1200ක් වගේ ප්‍රමාණයක් එනවා. මේ කියන දවස් තුළ ඊටත් වඩා ඇණවුම් කරලා තියෙනවා. හැබැයි ඇනවුම් කළාට මේගොල්ලෝ ඒකපාක්ෂිකව තීන්දුවක් අරන් තියෙනවා සමහර තෝරගත්ත බෙදුම්කරුවන් ප්‍රමාණයක් ඒගොල්ලෝ මේක බෙදාහරින්නේ නැහැ කියල. හැබැයි ඒක නිලවශයෙන් දැනුම් දීලා නැහැ. සමාජ මාධ්‍යට මුදාහරපු දෙයින් පැනික් එකක් කිරීමක් මිනිස්සු කලබල කර නොමග යැවීමක් මේක ඇතුලේ තියෙන්නේ. අපිට පෙනෙන්නේ හිතාමතාම සුළු කණ්ඩායමක් විසින් මේ මොහොතේදී රට තුළ යම් අසහනකාරී තත්ත්වයක් තියෙනවා පෝලිම් යුගයක් එනවා කියල, කලබල කිරීමේ වුවමනාවෙන් කරපු එකක්. කෙසේවෙතත් මම සඳහන් කරන්න කැමතියි.
පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගණන් හදල පෙන්වල තියෙනවා විවිධ තත්ත්වයන් සලකල, සමහර පෙට්‍රල් ෂෙඩ් තියෙනවා ඉතා සුළු ලෝඩ් ප්‍රමාණයක් එන්නේ. සමහර ඒවා විශාල ප්‍රමාණයක්. සමහර පෙට්‍රල් ෂෙඩ්වල පිහිටීම,ප්‍රවාහනය, මේ සියලු කාරණා සැලකිල්ලට භාජනය කළාට පස්සේ අවමය සමාන්‍ය 6.96කට ගැප් කරලා තියෙනවා. එතකොට අපේ නිෂ්පාදන පිරිවැය පැත්තෙන් ගත්තම මෙය 3.55ක ලාභයක්. කලින් තිබ්බ තත්ත්වයටත් වඩා සාධාරණ එකක්. ඒ අනුව ලෝඩ් ප්‍රමාණය අනුවත් අවමය යන තත්ත්වය තියෙන්නේ ලෝඩ් 15ක්. ලෝඩ් 15ක් යන කෙනාට 3.5%ක් ලාභයකුත් ඒවගේම දෙලක්ෂ පහස්දහක ලාභයකුත් ලැබෙනවා. ඒ විදිහට සිනරියෝ 5ක් හදල තියෙනවා. ලෝඩ් 30,60,90,120 විදිහට.එතනට යනකොටත් අර කිව්ව ලාභ ආන්තිකය රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා මෙතන ලාභ ආන්තිකය කිසිම අඩුවක් වෙලා නැහැ. ඒවගේම දුෂ්කර ප්‍රදේශවලට ගියාට පස්සේ එයාලට දෙන ලාභ කොටස රු.8.45ක්. ඒ කියන්නේ ලාභ ආන්තිකයක් විදහට 4.5%ක්. අපි දන්නවා මූල්‍යමය පැත්තෙන් ගත්තම කිසිම අසාධාරණයක් වෙලා නැහැ. මම හිතන්නේ මෙතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ.”
එම නිසා වෙළෙඳපොල තුළ මෙවැනි අනවශ්‍ය තත්වයක නිර්මාණය නොකරන ලෙස රජය ලෙස අවධාරණය කරන බවත් රජයේ පාර්ශවයෙන් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩය බෙදාහැරීම වෙනුවෙන් උපරිමට මැදිහත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
අභිෂේකා වාසල බණ්ඩාර