තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට පොලිස්පති නියමයෙන් විමර්ශන කණ්ඩායම් 10ක් යෙදවා ඇතැයි පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, කොළඹ අපරාධ කොට්ඨාශ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඇතුළ කණ්ඩායම් 10ක් යොදවා ඇති බවයි.

ඊයේ(13) පස්වරු 4.50ට පමණ අකුරගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලේදී සිදු වූ වෙඩි තැබීමෙන් නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ මිය ගියේය.

පොලීසිය පැවසුවේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි.

වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් හා පිස්තෝලයක් භාවිත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එලෙස ඝාතනයට ලක් වූයේ අතුරුගිරිය, පෝරේ පදිංචිව සිටි 44 හැවිරිදි නීතිඥවරයෙකු හා 42 හැවිරිදි ඔහුගේ බිරිඳයි.

මහජන සහාය පැතීම

අද දිනයේ මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨසය සඳහන් කළේ තලංගම, අකුරේගොඩ දී ඊයේ (13) සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර බවය.

අපරාධය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට දැනට සිදු කරමින් පවතින විමර්ශනවලට අනුව අනාවරණය වී ඇති බව සඳහන්ය.

මෙම සිදුවීම සිදු වූ ඊයේ (13) දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරා පද්ධතිවල (Dash Camera) මෙම සැකකරුවන් පැමිණ ඇති බවට සැකකරෙන අංක EP KI-7738 දරන මෝටර් රථය ගමන් කරන ආකාරය සටහන්ව තිබිය හැකි බව පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ දින සවස් කාලයේ ඉහත ප්‍රදේශවල ගමන් ගත් වාහන හිමිකරුවන් හා රියදුරන් ඉහත කාර් රථයේ දර්ශන තම වාහනයේ කැමරාවල පටිගත වී ඇත්ද යන්න පරීක්ෂා කර බලා එවැනි දර්ශන ඇත්නම්, නොපමාව ඒ බව පහත දුරකථන ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ලබාදෙන තොරතුරුවල පූර්ණ රහසිගතභාවය සුරකින බව ද පොලිසිය වැඩිදුරටත් දන්වා ඇත.

දුරකථන අංක - නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව - 071 8598008
                    අධ්‍යක්ෂ/ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය - 071 8592279

මුලාශ්‍ර : Newsfirst.lk + adaderana.lk   
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.