CLOSE

'නැත්ත වෙනුවට ඇත්ත’ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 1ක හානි පූර්ණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණය දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කළේය.

ඒ අනුව කෘතියට ඇතුළත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණට අදාළ ලේඛන කෘතියේ තවදුරටත් මුද්‍රණය කිරීම, බෙදා හැරීම, අලෙවි කිරීම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝණය වන ඕනෑම ක්‍රියාවක නිරතවීමද වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විමල් වීරවංශට වාරණ නියෝගයක් නිකුත් කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ “නැත්ත වෙනුවට ඇත්ත” යන ග්‍රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ටිල්වින් සිල්වා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු ගොනු කර තිබුණි.

ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කර විමල් වීරවංශ ‘නැත්ත වෙනුවට ඇත්ත‘ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බව ටිල්වින් සිල්වා එම නඩු විභාගයේදී  වාණිජ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

දීර්ඝ නඩු කාලයක් විභාගය කළ කොළඹ වාණිජ මහාධිකරණය බුද්ධිමය දේපළ පනත යටතේ “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ විමල් වීරවංශට නොව ටිල්වින් සිල්වාට බව 2019 වසරේ ජනවාරි 11 වැනිදා තීන්දුව ලබාදෙමින් ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවන ලෙසත් විමල් වීරවංශට වාණිජ මහාධිකරණය නියෝග කළේය.

එම නියෝගයට එරෙහිව විමල් වීරවංශ මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අතර එහි තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු සෝභිත රාජකරුණා අද ප්‍රකාශයට පත්කළේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.