CLOSE

මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය යටතේ "දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස", ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානු ජාතිකයන් වෙත ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

"මැද පෙරදිග පවතින සංකීර්ණ ආරක්ෂක වාතාවරණය හමුවේ බලාපොරොත්තු නොවූ ලෙස ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ හැකියාවක්" පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.  

එමෙන්ම මැද පෙරදිගට පරිබාහිරව පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානයන් පවා ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බවත්, ඉරානය සහ ඉරානයට සහාය පළකරන සංවිධාන විසින් ලොව පුරා පිහිටි අමෙරිකානු ආයතන, ව්‍යාපාර හෝ අමෙරිකානු ජාතිකයන් ගැවසෙන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

මෙයට අමතරව, දැනට මැද පෙරදිග කලාපයේ රැඳී සිටින අමෙරිකානු ජාතිකයන්ට ගුවන් ගමන් අවලංගු වීම් සහ ගමන් බාධා කිරීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දන්වා සිටින අතර, දැනට මැද පෙරදිගින් පිටත සිටින අමෙරිකානුවන් එම කලාපය හරහා ගමන් කිරීම හෝ සංචාරය කිරීම ගැන නැවත සලකා බලන ලෙස අමෙරිකානු රජය වැඩිදුරටත් උපදෙස් දී ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.