CLOSE

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා නව ආනයන බදු පැනවීමට තීරණය කර ඇති අතර, එය අද (24) සිට බලපැවැත්වේ.

නව බදු ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කින් අමෙරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 10ක බද්දක් පනවා තිබේ.

මෙම කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ඇතුළත් වේ. යුරෝපා සංගමයෙන් සහ තායිවානයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාද මෙම සියයට 10ක බදු අනුපාතය අදාළ වේ.

මේ අතර, චීනය, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, සෞදි අරාබිය, රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් රැසකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 12.5ක ආනයන බද්දක් පැනවීමට ද ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත.

මෙම නව බදු ප්‍රතිපත්තිය හඳුන්වා දීමට හේතු වී ඇත්තේ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා පවතින නීති රටවල් රැසක් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තියයි.

මීට පෙර අමෙරිකානු අධිකරණයක් විසින් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබූ අතර, එම තීන්දුව අනුව එය දින 150ක කාලයකට පමණක් සීමා වී තිබිණි. එම කාලසීමාව අවසන් වීමත් සමඟ නව බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක කර තිබේ.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.