CLOSE

සති කිහිපයක් පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත් කිහිපයක් ඝන, විෂ සහිත දුමාරයකින් වැසී ඇති අතර, එම දුමාරය මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය දක්වාද පැතිර යමින් තිබේ.

ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව, ජූලි සහ අගෝස්තු මාසවලදී ලැව්ගිනි හා වනාන්තර ගිනි හේතුවෙන් ඇති වූ බවට සැලකෙන ශ්වසන ආසාදන රෝගීන් 50,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, දහස් ගණනක් රෝහල්ගත කර තිබේ.

එරට දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති නගරයක් වන බන්ජාර්බාරු ප්‍රදේශයේ පාසල් වසා දැමීමට ද බලධාරීන් කටයුතු කර තිබේ. එහි ගුරු සහායකයෙකු BBC වෙත පවසා ඇත්තේ දුමාරය හේතුවෙන් තත්ත්වය කෙතරම් දරුණු වීද යත්, “තමන්ගේම පාද පවා දැකගත නොහැකි වූ” බවයි.

මෙම ගිනිගැනීම්වලින් බොහොමයක් ඉන්දුනීසියාවට අයත් බෝර්නියෝ දූපත් ප්‍රදේශයේ හටගෙන ඇත. ඒ අනුව, මැලේසියාවට අයත් සරවක් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ද වායු දූෂණ දර්ශකය “අහිතකර” මට්ටමකට ළඟා වී තිබේ.

ඉන්දුනීසියාවේ ලැව්ගිනි පවතින ප්‍රදේශවලට උතුරින් සහ මැනිලා නගරයට දකුණින් පිහිටි පිලිපීනයේ පලාවන් ප්‍රාන්තයේ ද දුමාරය තීව්‍ර වෙමින් පවතින අතර, ප්‍රදේශවාසීන් පිළිස්සුණු ද්‍රව්‍යවල සුවඳක් දැනෙන බව පවසා තිබේ. එම තත්ත්වය හේතුවෙන් හිසරදය මෙන්ම ඇස් සහ උගුරේ දැවිල්ලද ඇති වන බව වාර්තා වේ.

මේ අතර, සිංගප්පූරු බලධාරීන්ද වායු දූෂණ මට්ටම් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන අතර, රජය සහ වෙළෙඳසැල් N95 මුහුණු ආවරණ තොග රැස්කරමින් සිටී. එමෙන්ම පාසල්වල එළිමහන් ක්‍රියාකාරකම් අවම කිරීම සඳහාද සැලසුම් සකස් කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.