CLOSE

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින්, ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ නිවේදන සහ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙසද ඉල්ලීමක් කර තිබේ.

මේ අතර, කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රියේ තැනින් තැන වැසි ඇතිවීමේ හැකියාව පවතී.

සුළං නිරිත දිශාවෙන් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් හමා යා හැකි අතර, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–60 දක්වා ඉහළ යා හැකිය.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තවද, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර උසකට ඉහළ යා හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, එම කාලය තුළ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද වැඩිදුරටත් දැනුම් දී තිබේ.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.