CLOSE

2026 වසරේදී පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

පාසල් සිසුවියන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමේ අරමුණින්, වැඩිවියට පත් සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල සිසුවියන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, සම්පූර්ණයෙන්ම මිලියන 1.05කට ආසන්න සිසුවියන් සංඛ්‍යාවක් මෙයින් ප්‍රතිලාභ ලබන බව සඳහන් වේ.

මෙම වැඩසටහන යටතේ එක් සිසුවියකට වාර්ෂිකව රුපියල් 1,440ක වටිනාකමක් හිමිවන අතර, රුපියල් 720 බැගින් වූ තිළිණ පත් දෙකක් ලබා දීමට නියමිතය.

එම තිළිණ පත් භාවිතා කරමින් සිසුවියන්ට තම අවශ්‍යතාවය අනුව සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට හැකි වන අතර, රුපියල් 120/- බැගින් වූ තුවා 08ක් සහිත පැකට 12 ක් හෝ රුපියල් 180/- බැගින් වූ තුවා 10ක් සහිත පැකට් 08ක් වර්ෂය තුළ දී මිල දී ගැනීමට අවස්ථාව සැලසේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන ගුරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.